Language Switcher

V2025

ජනතාවට සහන දෙන්න : ඉන්ධන මත පනවා තිබූ තීරු බද්දේ විශාල අඩු කිරීමක්

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ඉහළ ගියත් එහි බර ජනතාව මත පැටවීම වැළක්වීමේ අරමුණින් ඉන්ධන මත පනවා තිබෙන තීරු බදු අඩු කිරීමට තීරණය කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසීය.

ඔහු සඳහන් කර සිටින්නේ ඒ අනුව තවදුරටත් ලෝක වෙළඳපොළ තුළ බොර තෙල් මිල ඉහළ යාම දේශීය ඉන්ධන වෙළඳපොළට බලපෑමක් නොවන බවත් අදාළ පාඩුව රජය දරාගන්න කටයුතු කරන බවත් ය.

එසේ සිදුකරන්නේ ලෝක වෙළඳපොළට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ මිල ඉහළයාමක් සිදුවුවහොත් එය සමාජ ආර්ථික සහ සංවර්ධන ක්ෂේත්‍ර වලට සිදුවන බලපෑම වළක්වා ගැනීමේ අපේක්ශාවෙන් බවද ඔහු සඳහන් කරයි.

නව තීරු බදු සංශෝධනය අනුව පෙට්‍රල් ලීටරයක් සඳහා අයකරන ලද රුපියල් 35ක තීරු බද්ද රුපියල් 12 දක්වාද, ඩීසල් ලීටරයක් සඳහා අයකරනු ලැබූ රුපියල් 15ක් වූ තීරු බද්ද රුපියල් 4ක් දක්වාද අඩු කිරීමට නියමිතය.

2015 සිට බොරතෙල් මිල ඉහළට

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 70%ක් පමණ නිමි භාණ්ඩ ලෙස ජාත්‍යන්තර වෙළඳපොළ හරහා ආනයනය කරයි. 2015 වන විට ඇමරිකානු ඩොලර් 49.49ක් වූ බොරතෙල් බැරලයක මිල 2017 වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් 54.95ක් දක්වා වැඩිවී ඇත. එසේම එය අඛණ්ඩ මිල වර්ධනයක් පෙන්වමින් 2018 මාර්තු වන විට බොරතෙල් බැරලය ඇමරිකානු ඩොලර් 63.07ක් දක්වා වැඩිවී ඇති අතර එය ඉදිරියේදී ඇමරිකානු ගොලර් 70ක් පමණ වැඩිවනු ඇති බවට තක්සේරු කර ඇත.

ලෝක වෙළඳපොළේ මිල වැඩිවීම අනුව ලංකාවේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 132.37 දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති අතර ඩීසල් ලීටරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 135.00 දක්වා ඉහළ ගොස් ඇත.

අඩුම ඉන්ධන මිලක් ඇති රටවල් අතර ලංකාවත්

එහෙත් එහි පාඩුව විඳදරා ගනිමින් 2015 වසරේ සිට මේ දක්වා පෙට්‍රල් ලීටරයක් රුපියල් 117.00 ට සහ ඩීසල් ලීටරයක් රුපියල් 95.00 ට අලෙවි කරන්නට රජය කටයුතු කර ඇත. ඒ නිසාම ජාත්‍යන්තරයේ මිල දර්ශක සමඟ සසඳන විට ශ්‍රී ලංකාව ඉතාම අඩු මිලට ඉන්ධන සපයන රටක් බවටද පත්ව ඇත.

සිංගප්පුරුව සහ ඉන්දියාවටත් වඩා ලංකාවේ මිල අඩුයි

ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටරයක විකුණුම් මිල ඇමරිකානු ඩොලර් 0.75ක් (රුපියල් 117) වන අතර ඉන්දියාවේ මිල ඇමරිකානු ඩොලර් 1.16කි. සිංගප්පුරුවේ පෙට්‍රල් ලීටරයක විකුණුම් මිල ඇමරිකානු ඩොලර් 1.59 කි. එසේම ලංකාවේ ඩීසල් ලීටරයක විකුණුම් මිල ඇමරිකානු ඩොලර් 0.61ක් (රුපියල් 95) ක් වුවත් ඉන්දියාවේ ඩීසල් ලීටරයක විකුණුම් මිල ඇමරිකානු ඩොලර් 1.01 ක් සහ සිංගප්පුරුවේ ඇමරිකානු ඩොලර් 1.18ක් පමණ වෙයි.

2013 දී ලංකාවේ පෙට්‍රල් 162 යි - ඩීසල් 111යි

2013 වසරේ දී ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 162.00 ක් වූ අතර 2015 වසරේ වත්මන් ආණ්ඩුව බලයට ඒමට පෙර ලබාදුන් පොරොන්දුව ඉටුකර පෙට්‍රල් ලීටරය රුපියල් 117.00 දක්වා අඩු කරනු ලැබිණ. එමෙන්ම එවකට රුපියල් 111.00 ක් වූ ඩීසල් ලීටරයක මිල රුපියල් 95.00 ක් දක්වා අඩු කරන්නට යෙදුනේද ඒ අනුවය.