වසර 5කට පසුව : වැලිකඩ ඝාතනයට සැකපිට රංගජීව සහ එමිල් රිමාන්ඩ්

වසර 5කට පසුව : වැලිකඩ ඝාතනයට සැකපිට රංගජීව සහ එමිල් රිමාන්ඩ්

වැලිකඩ ඝාතන සිදුවීම සම්බන්ධව අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා අප්‍රේල් 10 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඒ අදාළ සැකකරුවන් දෙදෙනා 29 වනදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේය.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් සැකකාර පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර නමුත් එම පෙත්සම පසුගිය 28 බදාදා ප්‍රතික්ෂේප කර තිබිණ.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගනුලැබූ අතර බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ද 29 වනදා රාත්‍රියේ ඔහුගේ නිල නිවසේදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණ.

2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් 27 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේදී ඝාතනයට ලක් වූ රැඳවියන් ඝාතකයන්ට හඳුන්වා දීමට සහ නම් ලැයිස්තුවක් යොදාගෙන ඝාතනය මෙහෙයවීමට නියෝමාල් රංගජීව මූලිකත්වය ගෙන ඇති බව ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් අනාවරණය වී තිබිණ.

සැකකරුවන් දෙදෙනාට විශේෂ ආරක්ෂාවක් !

මේ අතර තම සේවාදායකයන්ට දැඩි තර්ජන පවතින පුද්ගලයින් බැවින් ඔවුන්ට බන්ධනාගාරයේ දී දැඩි ආරක්ෂක රැකවරණ ලබාදෙන ලෙස නියෝගයක් පනවන්න ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉල්ලීමක් කර තිබෙන අතර එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයේදී සැකකරුවන්ට දැඩි ආරක්ෂාව ලබා දීමට පියවර ගන්නැයි බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයේදී විසි හත් දෙනකු ඝාතනය කරන අවස්ථාවේ එහි සිටි ප්‍රධාන සාක්ෂි කරුවකුට ද පසුගිය වසරේ මරණිය තර්ජනයක් එල්ලවී තිබුණු බවට මාධ්‍ය වාර්තා නිකුත් වූ අතර කෙසේ වුවත් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවුයේද සිදුවීමෙන් වසර 5කට අධික කාලයක් ගතවීමෙන් පසුවය.

ජාතික නිදහස් පෙරමුණ දුක්වෙයි !

කෙසේ නමුත් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීම සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර සඳහන් කර සිටින්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොටු කිරීමේ මෙහෙයුමක් මේ පිටුපස දියත්ව තිබෙන බවය. එසේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙයින් ආශ්වාදයක් ලබන බවද ඔහු පවසයි.

ඝාතන ලැයිස්තුව බලලා කතා කරන්න

නමුත් මේ සම්බන්ධව අදහස් දක්වන අගතියටපත් පාර්ශව සඳහන් කර සිටින්නේ අදාළ ඝාතන සිදුවීමේදී ඝාතනය වූ පිරිස් සමබන්ධව සොයා බලන ඕනෑම අයෙකුට අදාළ ඝාතන සිදුකරන්නට අවශ්‍යවුයේ කාටද යන්න තේරුම් ගැනීම දුෂ්කර නොවන බවය.

එසේම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මත සිදුවීම සිදුවූ දින රාත්‍රියේ තෝරාගත් රැඳැවියන් පිරිසක් වන කංකානම්ලාගේ මලින්ද්‍ර නිලේන්ද්‍ර පැල්පොල හෙවත් මාලන්, නිර්මල අතපත්තු, මොහොමඩ් විජය රෝහණ හෙවත් ගුණ්ඩු මාමා , චින්තාමනී මොහොට්ටිගේ තුෂාර චන්දන හෙවත් කලු තුෂාර, අන්ද්‍රපුලිගේ ජෝතිපාල හෙවත් පොන්න කපිල, හර්ෂ මහකීර්ති පෙරේරා හෙවත් මංජු , රයිගමගේ සුසන්ත පෙරේරා හෙවත් මාලි ප්‍රසන්න, දේව මලලගේ මලිත් සමීර පෙරේරා හෙවත් කොන්ඩ අමිල යන අය ඝාතනයට ලක්ව තිබෙන්නේ ලැයිස්තුවකට අනුව බවද එම පාර්ශවය සඳහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණේ පහත් දේශපාලනය

එසේම වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කළ දිනයේ දී රාත්‍රියේ සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීව ඇතුලු තිදෙනකු පැමිණ සිරකරුවන් අතුරින් පිරිසක් තෝරා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාට වැඩිදුර වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කර තිබෙන බවත් එම පාර්ශවය පැවසු අතර වසර 5කට පසුව හෝ යුක්තිය ඉටුවීමට යාමේදී ජාතික නිදහස් පෙරමුණ එය පවා සිය දේශපාලන ව්‍යාපෘතියට යොදාගන්න තරම් පහත තැනකට වැටී ඇති බවත් ඔවුන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න