Language Switcher

V2025

අර්බුදය ඔඩුදුවන්න දෙන්න එපා : වහාම මහමැතිවරණයක් කැඳවන්න - ආචාර්ය චරිත හේරත්

රටේ පවතින අර්බුදය විසඳාගත හැකි වන්නේ මහජනතාවට නැවත ජනවරමක් ප්‍රකාශයට පත්කිරීමට ඉඩ ලබාදීම බවත් ඒ සඳහා හොඳම ක්‍රමය මහමැතිවරණයක් පැවැත්වීම බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය චරිත හේරත් සඳහන් කරයි.

හිටපු ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ ART TV හී “Public Space – Sri Lanka” වැඩසටහනට අදහස් දක්වමින්ය.

ජනතා තීන්දුව දැනගන්න : මහමැතිවරණයක් පවත්වන්න

පිපුරුම් දේශපාලන අර්බුදයක් මෙන්ම ව්‍යවස්ථාමය අර්බුදයක් හේතුවෙන් රට අඳුරු අගුළු තත්වයක පවතින බව සඳහන් කරන ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය තවත් නරක අතට හැරෙන තෙක් ඇදගෙන නොගොස් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන රටක ජනතාව තුළට ආපසු යෑමට ක්‍රියා කිරීම වැදගත් බවයි.

ඒ සඳහා මහමැතිවරණයක් පැවැත්වීම තුළ ජනතාවගේ අපේක්ෂාවන් අනුව රට ඉදිරියට ගෙනයා හැකි බවට විශ්වාස කරන ප්‍රතිපත්තියක් ජයග්‍රහණය කරවීමට ජනතාවට බලය ලැබෙන බවද ඔහු සඳහන් කර සිටියි.

ආණ්ඩුවේ ලොක්කන් දෙන්නා යන්නේ : පාරවල් දෙකක

ව්‍යවස්ථාමය අර්බුදය හේතුවෙන් ජනතාව සමෘද්ධිමත් කරවීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුවට නායකත්වය දෙන පාර්ශව දුෂ්කරවී ඇති බවත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව කරුවන් ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ගමන් කරමින් සිටින බවද ඔහු පවසයි.

උගත් නායකයින් පත්කර ගැනීමට ජනතාව උනන්දු විය යුතුයි

එසේම රටේ දේශපාලනික අර්බුදය වන්නේ රට ඉදිරියට ගෙනයාමට හැකි උගත් දේශපාලනඥයන් නොමැති වීම බවත් අවම වශයෙන් ජනතා නියෝජිතයන් ලෙස උගත් නායකයින්ගෙන් 30%ක් වත් පත්කර ගැනීමට ජනතාව කටයුතු කලයුතු බවද ඔහු සඳහන් කර සිටියි.

එසේම දේශපාලනය කරන ජනතා නියෝජිතයා යනු පුර්ණ කාළීන රැකියාවක් බවත් එය දැන හැඳිනීම හෝ ජනප්‍රියත්වය මත කෙනෙකුට ලබාදිය යුත්තක් නොවන බවද ඔහු පෙන්වා දයි.

අචාර්ය චරිත හේරත් රාජපක්ෂ පාලන සමයේ හිටපු ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ උපදේශකවරයෙකුද වෙයි.