රනිල් පැරැදුණොත් අගමැති කව්ද ?

රනිල් පැරැදුණොත් අගමැති කව්ද ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ මෙහෙයුම් සිදුවන අතරතුර නව අග්‍රාමාත්‍යවරයකු තෝරා ගැනීමේ මෙහෙයුමකුත් සිදුවන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

යම් හෙයකින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කළහොත් නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කළ යුත්තේ කවුරුන්ද කියා දේශපාලන කණ්ඩායම් කිහිපයක් දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් සාකච්ඡා කරමින් සිටින්නේ එවැනි අවස්ථාවකදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කිරීමටයි.

එය සාර්ථක නොවුණහොත් කතානායක කරු ජයසූරිය මහතා අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනකුගේ අවධානය යොමු වී ඇති අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේද සහාය ලබාගැනීමට හැකි තත්ත්වයක් පවතිනවාද කියා දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

නව අග්‍රාමාත්‍යවරයකු පත්කර ගැනීමට අවශ්‍ය වුණොත් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම යෝජනා කිරීමටද එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සූදානමින් සිටිති.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතුයි යන මතයේ දැඩිව සිටින අය බවද වාර්තා වෙයි.

මේ අතර නව අග්‍රාමාත්‍යවරයකු අවශ්‍ය වුවහොත් ඒ සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පත්කළ යුතු බවට ප්‍රකාශ කරන කණ්ඩායමක්ද සිටී. යහපාලනය වෙනුවෙන් දැඩිව පෙනී සිටින මේ කණ්ඩායමට දෙමළ හා මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ පිරිසක් එක්ව සිටින බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 'රනිල් වෙනුවට ගේන්නේ කව්ද ?' - විජේදාස අසයි

 

wijedasa 670

''විශ්වාසභංග යෝජනාව ගෙනෙන පාර්ශ්වයෙන් අපි ඇහුවා රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළොත් කවුද ගේන්නෙ කියලා. කොරෙක්‌ දීලා අන්ධයෙක්‌ ගත යුතු නෑනේ. ''- විජේදාස රාජපක්‌ෂ

 විශ්වාසභංගය පරාජය කිරීමෙන් පසු හෝ ජයග්‍රහණය කිරීමෙන් පසු සිදු කරන ස්‌ථිර වැඩපිළිවෙළ දෙපාර්ශ්වයම මේ වන තෙක්‌ හෙළි කර නොමැති බව ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්‌ෂ මහතා පැවසීය.

''විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තීරණයක්‌ දෙන විට ජනතා මතය සැලකිල්ලට ගත යුතුයි. ඒ වගේම රටේ සුරක්‌ෂිතතාවය පිළිබඳ සැලකිල්ලට ගත යුතුයි.

විශ්වාසභංග යෝජනාව ගෙනෙන පාර්ශ්වයෙන් අපි ඇහුවා රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළොත් කවුද ගේන්නෙ කියලා. කොරෙක්‌ දීලා අන්ධයෙක්‌ ගත යුතු නෑනේ. ගේන කෙනා නිල්, කොළ, රතු කියලා වැඩක්‌ නෑ. රට පත්ව ඇති අගාධයෙන් ගොඩ ගන්න පුළුවන් අයෙක්‌ විය යුතුයි.

අද රට අගාධයට වැටිලා. කෘෂි කර්මාන්තය ආර්ථිකය වැටිලා. ආයෝජන පිරිහිලා. නීතියේ ආධිපත්‍ය ගැන විශ්වාසය බිඳ වැටිලා. මෙයින් රට ගොඩ ගන්න පුළුවන් ප්‍රතිපත්තියක්‌ තියෙන, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි පෞරුෂයක්‌ තියෙන අයෙක්‌ විය යුතුයි පත් කරන පුද්ගලයා. ඒ වගේම ජාත්‍යන්තරයේ අපේ රටට ප්‍රශ්න වැඩියි. ඒවාටත් මුහුණ දිය හැකි අයෙක්‌ විය යුතුයි.

ඒ වගේම විශ්වාසභංග යෝජනාවට විරුද්ධව සිටින රට අගාධයට ගෙන යැමට වගකිවයුතු එක්‌ කණ්‌ඩායමක්‌ වන එජාපය ද විශ්වාසභංගයෙන් පසුව රට ගොඩනැඟීමට ඔවුන් සිදු කරන වෙනස, කැපවීම රටට තහවුරු කළ යුතුයි. පාර්ශ්ව දෙකම අද වනතෙක්‌ සැලසුම් කියලා නෑ. ඒ නිසා ඉදිරි දින කිහිපයේදීවත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

ජනතාවට අද පක්‌ෂ, පාට පුද්ගලයා වැදගත් නෑ. ප්‍රතිපත්තිය පමණයි වැදගත්. ඉදිරියේදී සිදු වන දේවල් ගැන අවධානයකින් පසුව තීරණයක්‌ ගන්නවා." යෑයිද හෙතෙම කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න