Language Switcher

V2025

ජනාධිපති ඩලස් වුණා නම් : ජනාධිපතිට වෙන දේ ඩලස් කියයි !

ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහට වාසිය හිමි නොවී තමන් තේරී පත් වූයේ නම් මෙරට අට වන විධායක ජනාධිපතිවරයා රටේ අවසන් විධායක ජනාධිපතිවරයා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

තමන් ඇතුළු කණ්ඩායම හඬනැගුවේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් වෙනුවෙන් මිස සර්ව පූට්ටු ආණ්ඩුවක් වෙනුවෙන් නොවන බවත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පවතින අර්බුදය විසඳාගැනීමට නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගාගැනීම ඉතා වැදගත් බව ද ඔහු එහිදී සඳහන් කළේය.

අවශ්‍ය වුවහොත් විපක්‍ෂයේ අසුන් ගැනීමට වුවත් තම කණ්ඩායම පැකිලෙන්නේ නැතැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය .

කෙසේ වුවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙන්ම මහින්ද රාජපක්ෂ ද ජනාධිපති ධූරය ලබාගන්නට විධායක ජනාධිපති ධූරය අහෝසි කරන පොරොන්දුව ලබා දුන් නමුත් ඔවුන්ගේ ධූර කාලය තුළ එවැන්නක් සිදුවූයේ නැත.