පක්ෂ ප්‍රතිසංවිධානයට සහය ලබාදෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්ධූරයෙන් අමාත්‍ය කබීර් හෂීම් ඉල්ලා අස්වීම ලබාදී ඇති බව වාර්තා වෙයි.
මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යවරයා අද (05) පෙරවරුවේ පක්ෂ නායකත්වය වෙත යොමුකළ බව සිරිකොත ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්ද සනාථකර සිටියේය.
ඉතිරි නිලධාරීන් ඉදිරි දින 2ක තුළ ඉල්ලා අස්වෙයි !
ඉදිරියේදී සිදුවන එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානයේදී සියළු තනතුරු වෙනස් වීමට නියමිතව ඇති බවත් ඒ අනුව පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු සමස්ථ නිලධාරී මණ්ඩලයම ඉදිරි දින 2 තුළ තම තනතුරු වලින් ඉල්ලා අස්වීමේ සුදානමක් තිබෙන බවද එම ප්‍රකාශකයා පැවසීය.
රංජිත්, මංගල, ෆොන්සේකා, තලතාට නව උපනායක ධූර !
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලදී අළුතින් උප නායක ධුර කිහිපයක් ලබාදීම ඇතුළුව නව තනතුරු කිහිපයක් ලබාදීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීමට යෝජනාවී ඇති බවත් 7,8 යන දෙදින පැවැත්වෙන පක්ෂ ප්‍රතිසංවිධාන විශේෂ සාකච්ඡාවාර වලදී ඒ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කරයි.
එසේම පක්ෂයේ නව උපනායක තනතුරු සඳහා මේ වන විටත් රංජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර, සරත් ෆොන්සේකා,තලතා අතුකෝරළ,රවී කරුණානායක යන අමාත්‍යවරුන්ගේ නම් යෝජනාවී ඇති බවත් සඳහන් කළ එම ප්‍රකාශකයා තරුණ අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් කණ්ඩායමක් වෙතද එජාප දෙවන පෙළ නායකත්වයක් බිහිකිරීම වෙනුවෙන් බලතල සහිත වගකීම් පැවරීමට නියමිත බවද ඔහු පැවසීය.
තරුණයන්ට වැඩි ඉඩක් ! : ඉහළ තනතුරු නිරීක්ෂණයට විශේෂ ඒකකයක්
එසේම මීට පෙර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලට වෙනස්ව යමින් මෙවර පක්ෂයේ සෑම තනතුරකටම අදාළ නියමිත වගකීම් කොටසක් ලබාදීමටත් ඒ තුළ තරුණ කොටස් වෙත වැඩි ඉඩක් වෙන් කිරීමටද තීරණය වී ඇත. එසේම පක්ෂයේ සියළු ඉහල තනතුරු සම්බන්ධව අධීක්ෂණය සඳහා නිරීක්ෂණ මට්ටමින් පක්ෂයේ පසුපෙළ නියෝජනය කරන පාර්ශව ඇතුළත් විශේෂ ඒකකයක් පිහිටුවීමට නියමිත බවටද තොරතුරු ලැබී ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.
මෙසේ නිරීක්ෂණ මට්ටමින් පක්ෂයේ පසුපෙළ ඉදිරියට ගැනීමෙන් පක්ෂ ප්‍රබලයින් පසුපෙළ සමඟ තිබෙන දුරස්ථභාවය අවම කිරීමේ අපේක්ෂාවක් තිබෙන බවත් මේ වන විට ක්‍රියාකාරී මට්ටමේ නොසිටින ආසන සංවිධායකයින් කිහිපදෙනෙකු ඉවත්කර නවකයින්ට ඒ සඳහා අවස්ථාව ලබාදීමට නියමිත බවද ඔහු පැවසීය.
එජාප ප්‍රතිසංවිධාන කටයුතු අප්‍රේල් 30 වන විට අවසන් කරන්නට නියමිතව ඇත.

