Language Switcher

V2025

ඉක්මන් මහ මැතිවරණයක් : පාර්ලිමේන්තුවේ පක්ෂ අතර එකඟතාවක් නෑ !

මහ මැතිවරණයක් පවත්වා ජනවරමක් සහිත ආණ්ඩුවක් බලයට පත්කර ගැනීම ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර බෙදුණු මතයක් නිර්මාණය වී ඇත.

එහිදී සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මහජනතාවගේ මූලික අවශ්‍යතාවලට විසඳුමක් ලබා දී කඩිනමින් මැතිවරණයක් පැවැත්විය යුතු බව පවසයි.

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂ කඩිනම් මැතිවරණයකට සුදුසු තත්ත්වයක් රටේ නැතැයි සඳහන් කරයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනම් මැතිවරණයක් සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ඉදිරිපත් නොකළද හැකිතාක් ඉක්මනින් ජනතාවගේ ප්‍රශ්න විසඳා ජනමතය විමසීම සුදුසුය යන ස්ථාවරයේ පසුවේ.

සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

“අපි කියන්නේ මහ මැතිවරණයක අවශ්‍යතාව තියනවා. මේ පත්වුණ ජනාධිපතිවරයා ඡන්දයකින් පත්වූ ජනාධිපතිවරයෙක් නෙවෙයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණය තියද්දී තිබ්බ ජනමතය නෙමෙයි මේ තියෙන්නේ. අපි කියනවා ජනතාවගේ මේ හදිසි අවශ්‍යතාවන් ටික වහාම ඉෂ්ට කරල මැතිවරණයකට යන්න කියලා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්

“මේ වෙලාවේ මැතිවරණයක් තියෙන එක පක්ෂයක් විදිහට අපට වාසි යි. නමුත් අපට පෞද්ගලික දේශපාලන වුවමනා මේ වෙලාවේ සපුරා ගන්න අවශ්‍ය නෑ. මේක රටේ අර්බුදයක් පවතින වෙලාවක්. ඒ නිසා අපිට මේ වෙලාවේ මැතිවරණයකට යෑමේ අවශ්‍යතාවක් නෑ. ඉස්සෙල්ලා රටේ ප්‍රශ්න ටික විසඳගන්න ඕනෙ. ඊට පස්සේ අපට මැතිවරණයකට යන්න පුළුවන්. මේ වන විට කොවිඩ් අවදානමත් ආයෙ ඇවිත්. ඒ නිසා රටේ මිනිසුන්ගේ ජීවිත අවදානමේ දාන්න බෑ අපට. එම නිසා මේ මැතිවරණයකට සුදුසු වෙලාවක් නෙවේ.”

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

“නියත වශයෙන්ම මේ මොහොත ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් තිබෙන අවස්ථාවක්. නීතිය හා සාමයට තර්ජනයක් තිබෙන අවස්ථාවක්. කිසිසේත්ම මැතිවරණයකට නොයා යුතු අවස්ථාවක්. එවැනි අවස්ථාවල කළ යුතු ප්‍රධාන ම දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම. නීතිය හා සාමය තහවුරු කිරීම. ඒවා තහවුරු වූ පසු බලන්න පුළුවන් ඊළඟ කාරණා ගැන. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයට ආපු නවක මන්ත්‍රීවරුන් 77ක් ඉන්නවා. ඒ අය වැටුණොත් අනාගතයේ ඊටත් වඩා සුදුසු දක්ෂ පුද්ගලයන් ප්‍රජාතන්ත්‍රවාදයට යොමු වීම වැළැක්වෙනවා. පක්ෂ අමතක කරලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න නම් මුලින් ඒ ආපු නියෝජිතයන් ආරක්ෂා කළ යුතුයි "

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස

“රටේ අර්බුද ගණනාවක් තියෙන වෙලාවක් මේක. මැතිවරණයක් පැවැත්වුණොත් කොහොම ද රාජ්‍ය නිලධාරීන් ඒ මැතිවරණයට දායක වෙන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඡන්ද පත්‍රිකාවලට අවශ්‍ය කඩදාසිවත් ගන්න බැරි තත්ත්වෙක තියෙන්නේ. ඡන්දයයක් ගණන් කරන්නේ කොහොම ද? විදුලිය විසන්ධි වෙන වෙලාවක් මේක. රටේ ඉන්ධන ප්‍රශ්නයක් තියෙනව. කොහොම ද මිනිස්සු ඡන්ද දාන්න යන්නේ. මැතිවරණ තියන්න කියන්නේ රටේ බංකොළොත් ම දේශපාලන පක්ෂ. එයාල හදන්නේ එයාලගෙ ගොඩ වැඩිකර ගන්න මිසක් රට හදන්න නෙමේ. අපි පක්ෂයක් ලෙස මේ වෙලාවේ මැතිවරණ අවශ්‍ය නෑ කියන ස්ථාවරයේ ඉන්නේ.”

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ

“ප්‍රජාතන්ත්‍රවාදී රටක අනිවාර්ය අංගයක් මැතිවරණ පැවැත්වීම. නමුත් මේ වෙලාවේ මැතිවරණයකට යෑම සුදුසු නෑ. ඉක්මනින් අපි රටේ අර්බුද විසඳාගත යුතුයි. ඉන් පසුවයි මැතිවරණයක් පැවැත්විය යුත්තේ. රටේ ආහාර, ඉන්ධන, පොහොර, බලශක්ති, ගෑස්, කෘෂිකර්මාන්තයට අවශ්‍ය යෙදවුම්, කාර්මික ක්‍ෂේත්‍රයේ, අපනයන ක්‍ෂේත්‍රයේ අර්බුද විසඳා ගැනීමෙන් පසු අනිවාර්යයෙන් මැතිවරණයක් රටේ පැවැත්විය යුතුයි. සැබෑ ජනමතය විකෘති කරන්න කාටවත් බෑ. සැබෑ ජනමතය පිළිබිඹු විය යුතුමයි. කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව ඉක්මනින් සකසා ගත යුතුයි. නමුත් සතියකින් දෙකකින් මැතිවරණයක් පවත්වන්නට බෑ.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක

ජනතාව පීඩාවට පත් කරන ප්‍රශ්නවලට තාවකාලිකව විසඳුම් ලබා දීමෙන් අනතුරුව ජනමතයකට ගොස් ජනතාවගේ කැමැත්ත පරිදි ආණ්ඩුවක් පත් කර ගත යුතුයි.

සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලනිපය ඉදිරිපත් කළ යෝජනා මාලාව තුළ ද මේ බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා "

දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු විපක්ෂයේ බහුතරයක් දේශපාලන පක්ෂ වත්මන් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර වහා ම මහ මැතිවරණයකට යා යුතු යැයි අවධාරණය කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර…

“රට තුළ මේ වනවිට උද්ගත වෙලා තියෙන තත්ත්වය අනුව මැතිවරණයක් තියන්න හැකියාවක් නැහැ. ඡන්දයක් තිබ්බත් සියයට පනහක්වත් ඡන්ද වැටෙන්නේ නැහැ. ඡන්දයක් තියන්න නම් මිනිස්සුන්ගෙ හිත නිදහස්ව තියෙන්නත් ඕනෑ. මිනිසුන්ගේ හිත නිදහස් නැතිව ඡන්දයක් තියලා ඇති තේරුමක් නැහැ. අනෙක් කාරණය ඉන්ධන නොමැතිව අදාළ නිලධාරීන්ට ඒ ඡන්ද කටයුතු සඳහා යන්න හැකියාවකුත් නැහැ.

කොහොම වුණත් රට සාමාන්‍ය අතට හැරුණට පස්සේ මහජන නියෝජිතයන් තෝරා ගන්න ඡන්දයක් තියන්න ඕනෑ. ඒක තමයි රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය.”

මූලාශ්‍රය - මව්බිම