Language Switcher

V2025

ගෝඨාගමනයේ මාසේ මාරුවෙයි : මිරිහාන ගේ වටේ ආරක්ෂාව දැඩි කෙරේ !

බරපතළ ජනතා විරෝධය මැද රටින් පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම මස අවසානයේ මෙරටට යළිත් පැමිණෙන බව සඳහන් වුවත් එය සැප්තැම්බර් මාසය දක්වා කල්ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ සැප්තැම්බර් දෙවැනි සතියේ පමණ හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණෙනු ඇති බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ඊයේ (19) පැවති දුරකථන සංවාදයකින් පසු මෙම තීරණය ගෙන ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

කෙසේ වුවත් රාජපක්ෂ ඥාති පුත්‍රයකු වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසා සිටියේ අගෝස්තු 24 ගෝඨාභය රාජපක්ෂ යළිත් මෙරටට පැමිණෙන බවය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ සමීප පාර්ශව සඳහන්කර සිටියේ අගෝස්තු අවසානයේ ඔහු මෙරටට පැමිණීමේ අපේක්ෂාවක් ඇති නමුත් මෙතෙක් දිනයක් තීන්දුකර නොමැති බවය. එතෙක් ඔහු තායිලන්ත රජයේ විශේෂ ආරක්ෂාවක් යටතේ සිටින බවත් ඔවුන් පැවසීය.

කෙසේ වුවත් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාව අවස්ථාවේ ද ප්‍රධාන කරුණු 2 අතර පළමු කරුණ වී ඇත්තේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යලිත් මෙරටට පැමිණීමට අවස්ථාව සැළසීම සහ ඊට අදාළ ආරක්ෂාව තහවුරු කිරීමය.

මිරිහාන නිවසේ ආරක්ෂාව දැඩි කෙරේ !

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රදේශයේ පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්ට ඊයේ (19) උපදෙස්දී ඇත.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ නිවෙස අවට ප්‍රදේශය ගැන විශේෂ සෝදිසියකින් පසුවන ලෙස ද වැඩිදුරටත් දැනුම්දී ඇත.

එම ප්‍රදේශයේ ඊයේ (19) පැවැති පොලිස් නිලධාරීන්ගේ සාකච්ඡාවකදී මෙසේ උපදෙස්දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.