Language Switcher

V2025

ලංකාවට ආපු සමන්තා පවර් : මිතුරු මංගල සිහිකරයි !

''මංගල සමරවීර යනු තමාගේ මූලික වටිනාකම් හා අදහස් මත පදනම්ව, සෑම විටෙකම රට මුල් තැනෙහි තබා කටයුතු කළ, අතිදක්ෂ, නිර්මාණශීලී මෙන්ම හාස්‍යරසය හඳුනාගත්, ඉතාමත් විරල දේශපාලකයෙකු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතනයේ (USAID) ප්‍රධානී සමන්තා පවර් එම ට්විටර් පණිවිඩයෙන් පවසන්නීය.

තමාගේ ආදරණීය මිතුරෙකුව සිටි මංගලගේ ආධ්‍යාත්මික ගුණයෙහි මතකය තවදුරටත් ශ්‍රී ලංකාවේ පැවතීම සම්බන්ධයෙන් තමන් විස්මයට පත් වූ බව ද ඇය කියා සිටින්නීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සිවිල් සමාජය, පෞද්ගලික අංශය හා USAID හි ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩලය සමග තමන් පැවැත්වූ හමුවීම්වලදී කෙතරම් දුරට මංගලගේ අදහස් හා බලපෑම් සාකච්ඡාවට බඳුන් වූයේද යත්, තමන් ඉදිරියේ ඔහු ප්‍රාදූර්භූත වනු ඇති බව පවා තමන් බලාපොරොත්තු වූ බව ද පවර් පවසන්නීය.

ශ්‍රී ලාංකිකයින් මේ වන විට බලවත් අභියෝගවලට මුහුණ දී සිටින අතර, මංගලගේ ඥානය, තරුණ ප්‍රජාව සමග ඔහු පැවැත්වූ සබඳතා සහ ඔහුගේ ප්‍රායෝගික විඥානවාදය තවදුරටත් නොපැවතීම දැඩිව දැනෙන බව ද පවර් කියා සිටින්නීය.

අප අතර ඔහු නොසිටීම ගැන ශෝක වූවද,ඔහුගේ මතකයෙන් අපට ප්‍රබෝධමත් විය හැකි බවට තමන් විශ්වාස කරන බවත්, තමන් පෞද්ගලිකව එසේ කරන බවත් ඇය වැඩිදුරටත් පවසන්නීය.

mangala yt

mangala osl

යන්න කලින් මංගලගේ සොයුරියත් හමුවෙලා !

එසේම එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මෙවර සංචාරයේදී හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සොයුරිය හමුවී මංගල සමරවීරගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සිය ශෝකය පළකර තිබිණ.

 සමන්තා පවර්, හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සමීපතම මිතුරියකි.

මංගල සමරවීර ගේ දේශපාලන ජීවිතයට 30 වසරක් සැපිරීම නිමිත්තෙන් 2019 පෙබරවාරි 28 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේ විශේෂ දේශනය සිදුකරනු ලැබුවේද ඇමරිකාවේ සිට පැමිණි සමන්තා පවර් විසිනි.