Language Switcher

V2025

ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය ජයගන්න සූදානම් - ජනාධිපති

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට රට මුහුණ දී සිටින බවත්, ලෝක ආර්ථික හා ආහාර අර්බුද හමුවේ වුවද එම අභියෝගය ජය ගැනිමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
 
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
 
පැරණි කෝන්තර අමතක කර, රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමග එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සියලු පාර්ශ්වයන්ට යළි ආරාධනා කළේය.
 
අර්බුදයෙන් ගොඩ ඒම සඳහා  සිව් වැදෑරුම් උපාය මාර්ගික සැලැස්මක් හඳුන්වාදීමට කටයුතු කළ ජනාධිපතිවරයා එහි  පළමු පියවර මේ වන විට සාර්ථක කරගෙන ඇති බවත් දෙවන පියවර සාර්ථක කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කරගෙන යන බවත් සඳහන් කළේය
 
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කළ සම්පූර්ණ කතාව
 
පසුගිය සති කිහිපය තුළ එංගලන්තයේත්, ජපානයේත් කළ සංචාරයන්වලදී ලෝක රාජ්‍ය නායක නායිකාවන් ගණනාවක් සමග අදහස් හුවමාරු කර ගැනීමට මම අවස්ථාව සලසා ගත්තා.


පිලිපීනයේ දී ආසියානු සංවර්ධන බැංකුවට අයත් රටවල මුදල් අමාත්‍යවරු හමුවෙන්නටත් අවකාශය ලැබුණා. අප මුහුණ දෙන උග්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ හමුවීම් සහ අදහස් හුවමාරු කරගැනීම් ඉතා වැදගත්.

අද අපේ රටේ ආර්ථිකය හා මූල්‍ය තත්ත්වය පවතින්නේ සාමාන්‍ය මට්ටමක නෙවෙයි. නමුත් සමහර දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තවමත් කටයුතු කරන්නේ සාමාන්‍ය තත්ත්වයක රට ඇති බව සිතාගෙනයි. ඔවුන් අදහස් දක්වන්නේ, විවේචන කරන්නේ, සාමාන්‍ය තත්ත්වයේ රට පවතින බව සිතාගෙනයි. මේ අය විසඳුම් යෝජනා කරන්නේත් එහෙම හිතාගෙනයි. ඉන්ධන පෝලිම් ඉවරවුණු පලියට අපට එහෙම හිතන්නට බැහැ.

මෑත ඉතිහාසයේ අපේ රට මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයටයි අපි මේ මුහුණ දෙන්නේ.මේ අර්බුදයෙන් ගොඩ ඒමේ සැලැස්ම ගැන මම අවස්ථා ගණනාවකදී කරුණු පැහැදිලි කළා.

• ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණීම
• ජපානය, ඉන්දියාව සහ චීනය ආදී අපට ණය ලබා දුන් රටවල් සමගත්, පුද්ගලික ණය හිමියන් සමගත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පොදු එකඟතාවයකට එළැඹීම.
• ඉන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලබා ගෙන, මූල්‍ය අරමුදලෙන් සහ වෙනත් රටවලින් ණය ආධාර ලබා ගෙන, ආර්ථිකය ස්ථාවර කරලීම.
• ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමෙන් පසු, සංවර්ධිත ආර්ථිකයක් දක්වා පොදු සැලැස්මක් ඔස්සේ රට ඔසවා තැබීමට කටයුතු කිරීම.

අප මෙන්න මේ කරුණු හතර ඉෂ්ඨ කරගැනීම සඳහා වෙහෙසිය යුතු බව මම මුල සිටිම පෙන්වා දුන්නා. මොකද පළමු වෙනි පියවරේ සාර්ථකත්වය අනුව තමයි, දෙවැනි පියවරට යන්න පුළුවන් වෙන්නේ. දෙවැනි පියවර සාර්ථක කර ගත්තාම තමයි තුන්වෙනි පියවරට යන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි පියවර සාර්ථක කරගෙන හතරවෙනි පියවරට යන්න පුළුවන්.

මම අගමැති ධූරයට පත්වීමට කලින් ඒ කරුණු පෙන්වා දුන්නා. අගමැති ධූරයට පත්වීමෙන් පසුවත් යළි ඒ බව අවධාරණය කළා. ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අවස්ථාවේදීත් මම මේ බව පෙන්වා දුන්නා.
 
දැන් අපි පළවෙනි පියවර සාර්ථක කරගෙන තියෙනවා. දෙවැනි පියවර සාර්ථක කර ගැනීම සඳහා පදනම සකස් කරගෙන යනවා. මෙවැනි පසුබිමකදී තමයි ලෝක රාජ්‍ය නායක නායිකාවන් සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව අප උදා කරගත්තේ. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජික රටවල් 68කට සම්බන්ධ මුදල් ඇමතිවරුන් මැනිලා නුවරදී හමුවිමට අවකාශ අපට හිමිවුණා.
 

මේ අවස්ථාවන්හිදී සිංගප්පුරු අගමැති ලී ෂෙන් ලෝන් මහතා සමග සාකච්ඡා කරන්නත් අවස්ථාව මට ලැබුණා. සංගප්පූරුව සමග අප අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම පසුගිය කාලයේ නිසියාකාරව ක්‍රියාත්මක වුණේ නැ. මේ ගිවිසුම් යළි පන ගන්වා ගන්නට අපට හැකි වුණොත්, මේ අවස්ථාවේ රටට ලැබෙන වාසිය අතිවිශාලයි. ඒ වගේම අග්නි දිග ආසියාව සමග අපේ ආර්ථික සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරන්නටත් මේ ගිවිසුම් හේතුවෙනවා. මේ ගිවිසුම ක්‍රියාත්මක කරලීම ඔස්සේ ශ්‍රි ලංකාව සමග ස්ථාවර ආර්ථික ප්‍රවේශයක් ලබා ගැනීමට හැකියාව උදාවන බවට සිංගප්පූරු අගමැතිතුමා විශ්වාසය පළ කළා.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා බැංකුවේ නියෝජිතයන් සමගත් මම සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කරලීම උදෙසා මේ ආයතන දෙකේම සහයෝගය ලබා දෙන බව ඒ නියෝජිතයන් ප්‍රකාශ කළා.
 
ජපාන අගමැති ෆුමියෝ කිෂිදා මහතා සමග මම සාකච්ඡා කළා. අපේ රටවල් දෙකට බලපාන වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ අප එම සාකච්ඡාවේ දී අවධානය යොමු කළා. ඊට අමතරව ජපාන විදේශ ඇමතිතුමා සමගත්, මුදල් ඇමතිතුමා සමගත් සාකච්ඡා පැවැත්වූවා.
 
ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩකටයුත්තේදී මැදිහත්කරුවෙකු ලෙස ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරලීම සඳහා ජපානය එකඟවිම සුබ ලකුණක්. ණය ලබා දුන් රටවල් සමග පවත්වන සමුළුවේ සම සභාපති ධූරය බාර ගැනීමට ජපානයෙන් ඉල්ලීමක් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලය පුරා සිදුවූ යම් යම් සිදුවීමේ නිසා ජපානයේ හොඳ හිත පළුදු වෙලා තිබුණේ. ජපානය සමග යළි ශක්තිමත් සබඳතා ගොඩ නංවාලීමට අපි පසුගිය මාස කිහිපය පුරා වෙහෙසුණා. දැන් අපට ජපානයෙන් කොළ එළියක් දැල්වී තිබෙනවා. ජපානය සමග පෙර පැවති ශක්තිමත් මිත්‍රත්වය යළි සම්පුර්ණයෙන්ම ඇති කර ගැනීමට අපි දිගින් දිගටම වෙහෙසවී ක්‍රියා කරනවා.
 
මේ වන විට අප චිනය සමගත් මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. චීන කොමියුනිට්ස් පක්ෂ සම්මේලනයෙන් පසු අප නැවතත් චීනය සමග සාකච්ඡා ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කරන්නට ද ජපානය මැදිහත්වන බව ප්‍රකාශ කර තිබීම යහපත් දෙයක්. අතීතයේ සිටම චීනය අපේ රටට සහය ලබා දුන්නා. මේ අසීරු අවස්ථාවේදීත්, ඔවුන් අපට සහාය ලබා දිමට කටයුතු කරන බව අපට විශ්වාසයි.
 
ඉන්දියාව සමගත් අප සාකච්ඡා පවත්වමින් ඉන්නේ. ජපානයේදී මෝදි අගමැතිතුමා කෙටි වෙලාවකට හමුවූ අවස්ථාවේ මම අපේ වර්තමාන තත්ත්වය පිළිබඳ එතුමන්ව දැනුවත් කළා. මෝදි අගමැතිතුමාගේ සහයෝගය අපට හැමදාමත් ලැබුණා. පසුගිය අර්බුදකාරී කාල වකවානුවේදී ඉන්දියාව අපට විශාල සහයෝගයක් ලබා දුන්නා. මම අවස්ථා ගණනකදි ඔවුන්ට ඒ පිළිබඳ කෘතවේදීත්වය පළ කර තියෙනවා. ශ්‍රී ලංකාව යළි නැගී සිටීමේ ක්‍රියාවලියට ඉන්දියාවේ සහයෝගය ඉදිරියටත් ලැබෙනවා. දැනටමත් ඉන්දියාව ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
 
එංගලන්තයේදීත්, ජපානයේදීත්, පිලිපීනයේදීත් අපේ රටට වැදගත් වන රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් මෙන්ම මුදල් ඇමතිවරුන් මුණ ගැසීම හරහා අපේ රටට උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට මම වෙහෙසුණා. ඒ නිසා විශාල පිරිසක් සමග වෙන් වෙන්ව අදහස් හුවමාරු කර ගැනීමට කාලය, මුදල් සහ ශ්‍රමය නොසෑහෙන සේ වැය කරන්න සිදුවෙනවා. නමුත් මේ අවස්ථාවේ ඒ සියලුදෙනා එකම තැනකදී, සීමිත කාල පරාසයන් තුළ හමුවිමට ලැබීම අපට ලැබුණු දුර්ලභ අවස්ථාවක්.
 
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම උදෙසා අප අනුගමනය කරන පිළිවෙත් හා සැලසුම් ගැන මම ඒ අයට පැහැදිලි කළා. අවබෝධයක් ලබා දුන්නා. අපේ රටට යළි නැගී සිටීමට සහාය ලබා දීමට ඒ බොහෝ දෙනෙක් කැමති වුණා.

ආර්ථික සහන ලබාදීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තේදී මුදල් ඇමතිවරුන්ට විශාල බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා මුදල් ඇමතිවරුන් ගණනාවක් එක වහලක් යටදී හමුවී සාකච්ඡා කිරීමට ලැබීම අපට ඉතාමත් වාසිදායක තත්ත්වයක් වුණා.
 
දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ජපානය, ඉන්දියාව සහ චීනය ප්‍රධාන අපට ණය ආධාර ලබා දෙන රටවල් සමග හැකි ඉක්මණින් පොදු එකඟතාවකට එළැඹීම යි. ණය ලබා දී ඇති අනෙකුත් රටවල් නියෝජනය කරන තානාපතිවරු සමග අප මේ වන විටත් සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ සියලුදෙනා සමග බහුපාර්ශ්වීය පොදු එකඟතාවකට පැමිණීම අපේ අපේක්ෂාවයි.
 
අපට ණය ලබා දුන් රටවල් සමග එකඟත්වයකට පැමිණීමෙන් පසු ලන්ඩන් ක්ලබ් වැනි පුද්ගලික ණය හිමියන් සමග ද අප සාකච්ඡා පවත්වනවා. ණය ප්‍රතිව්‍යහුගත කිරීම සම්බන්ධව ඔවුන් සමගත් එකඟත්වයකට පැමිණීමට අපි බලාපොරොත්තු වෙනවා. ණය ලබාදුන් රටවල් හා පුද්ගලික ණය හිමියන් සමග එකඟත්වයකට පැමිණීමෙන් අනතුරුව අපට අයි.එම්.එෆ් සහතිකය ලබා ගන්න පුළුවන්.
 
දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව අපට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා. අයි.එම්.එෆ් සහතිකය ලබා ගැනීමෙන් පසු, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතනවලින් අතරමැදි මූල්‍ය පහසුකම් හෙවත් බ්‍රිජින් ෆිනෑන්ස් පහසුකම් ලබා ගැනීමට අපට පුළුවන් වෙනවා. ණය පහසුකම් ලබා දෙන වෙනත් රටවල් සමග සාකච්ඡා කොට ද්විපාර්ශ්වික ණය ලබා ගැනීමේ අවස්ථාව ඒ හා සමගම උදාවෙනවා.
 

අද අප පත්වී සිටින ආර්ථික අසරණභාවය නිසා, ලෝක බැංකුව හෝ වෙනත් ණය දෙන ආයතන වෙතින් වෙළෙඳ පොළ අගය මත ණය ගැනීමට තරම් ශක්තියක් අපට නැහැ. ඒ නිසා ජාත්‍යන්තර සංවර්ධන සමුළුව සමග එක්වී සහනදායී මූල්‍ය සහාය ලබා ගැනීමේ අවකාශය උදා කරදෙන ලෙස අප ඉල්ලීමක් කලා. ඊජිප්තුව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල් 12ක් මෙවැනි ආර්ථික අර්බුද ඇතිවූ අවස්ථාවන්හිදී අතරමැදි සහන සම්බන්ධයෙන් ඉල්ලීම් කර තිබෙනවා. එවැනි ආකාරයකට සහනදායී ණය ලබා ගැනීමේ අවස්ථාව අප උදාකර ගැනීම වර්තමානයට විශාල සහනයක්.
 
සංචාරක ක්ෂේත්‍රය ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැකි එක් මාර්ගයක්. විවිධ උපාය මාර්ග ඔස්සේ සංචාරක ව්‍යාපාරය යළි පිබිදවීමට අප වෙහෙසෙනවා. මේ ඔස්සේ රටට ලැබෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීම අපේ අරමුණයි.
 
පුද්ගලික අංශයේ මුදල් සංචිත ඉහළ නැංවීමත්, විදේශ ආදායම් වැඩි කිරීමත් අපේ අරමුණක්. මේ වැඩ සැලසුම් ඔස්සේ ලබන වසරේ අග වෙද්දි කිසියම් ස්ථාවරත්වයක් ඇති කර ගැනීමටත්, රුපියල ශක්තිමත් කර ගැනීමටත් අපට හැකි වෙනවා.

කඩා වැටුණු ආර්ථිකය යළි ඔසවා තැබීමේ වර්තමානයේ අප මුහුණ දෙන අභියෝග කිහිපයක් පිළිබඳවත් මම ඔබේ අවධානය යොමු කරන්න කැමැතියි. මේ ගැනත් මම විටින් විට ඔබට කරුණු පෙන්වා දී තිබෙනවා. නමුත් නැවත නැවත එය සිහිපත් කළ යුතු වෙන්නේ අද අප වැටි ඇති තත්ත්වය පිළිබඳව සැබෑ පින්තූරය වටහා ගැනීමට එමගින් හැකිවන නිසයි.
 
පසුගිය වකවාණුවේ අනුගමනය කෙරුණු ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන්, සහ ඊටම ඇඳී උදාවුණු ගෝලීය අර්බුද හේතුවෙන් අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. පසුගිය අවුරුදු දෙක තුළ විචාරයකින් තොරව මුදල් අච්චු ගැසුවා. 2015 ආණ්ඩු සමයේ අච්චු ගැසූ මුදල් ප්‍රමාණය මෙන් දහතුන්ගුණයක් පමණ පසුගිය අවුරුදු දෙක තුළ අච්චු ගසා තිබෙනවා. ඊට සරිලන ලෙස නිෂ්පාදන වැඩි වුණේ නෑ. මෙය උද්ධමනය සියයට සියය දක්වා ඉහළ නැංවෙන තත්ත්වයක්.

නමුත් පසුගිය මාස දෙක තුන තුළ අප ගත් යම් ක්‍රියාමාර්ග නිසා මේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 69.8ක රඳවා ගන්නට අපට පුළුවන් වුණා.
 
අතුරු අයවැය යෝජනා මගින් පෙන්වා දුන් පරිදි, අපි රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතුයි. ඒ යටතේ රටට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට අප දැන් මුල පුරා තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ මේ ආයතනවල පාඩුව සෘජුව සහ වක්‍රව දැරුවේ මහජනතාව. රාජ්‍ය සම්පත් කියන ලේබලයට මුවා වී මේ ආයතනවල පාඩුව ජනතාව පිට පැටෙව්වා.
 
2022 අවුරුද්දේ දෙවැනි කාර්තුව අවසන් වෙද්දී රාජ්‍ය ආයතන කිහිපයක් ලබා ඇති පාඩුවේ එකතුව මම සදහන් කරන්නම්. ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩුව රුපියල් බිලියන 1057යි. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 261යි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩුව රුපියල් බිලියන 791යි.
 
මේ බර තවදුරටත් ජනතාව පිට පටවන්නට බැහැ. ඒ නිසා මේ ආයතන ප්‍රතිව්‍යුහගත කර, රටට බරක් නොවන තත්ත්වයකට අප ගෙන එනවා. පොහොර සම්බන්ධයෙන් අනුගමනය කෙරුණු අදුරදර්ශී ක්‍රියාපිළිවෙත නිසා කෘෂිකර්මය සහ ආහාර නිෂ්පාදනය කඩා වැටුණා. දැන් ආහාර උද්ධමනය සියයට 95කට කිට්ටුයි. මේක තමයි ඇත්ත. මෙවැනි උද්ධමනයක් ලෝක යුද්ධ කාලයකදීවත් අපේ රටේ තිබුණේ නැ. මේක ඉතාම භයානක තත්ත්වයක්.
 
ආහාර නිෂ්පාදනය කඩා වැටීමේ ප්‍රතිඵලයක් හැටියට දේශීය වෙළෙඳ පොළේ බඩු මිල ඉහළ යනවා. උද්ධමනය ඉහල යෑම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර අප පසුගිය මාස කිහිපය තුළ ක්‍රියාත්මක කළා. මේවා දවසෙන් දෙකෙන්, එක් රැයෙන් විසඳන්න පුළුවන් ගැටලු නෙවෙයි.
 
අප අනුගමනය කළ කඩිනම් පියවර නිසා පසුගිය යල කන්නයේ අස්වැන්න අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහල නංවාගන්න අපට පුලුවන් වුණා. ඉදිරි මහ කන්නයේ කරදරයකින් තොරව වගා කටයුතු කරන්න අවශ්‍ය පොහෙර සහ බිජ ලබා දෙන්න සියල්ල සුදානම්. ස්වභාවික විපතකින් තොරව මහ කන්නයේ වී අස්වනු ලබා ගන්න අපට පුළුවන් වුණොත්, අපට ආහාර මිල ඉහළ යෑමට යම්කිසි විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ආර්ථික ස්ථාවරත්වය ඇති කරගැනිමේ පදනමක් එමගින් ඇති කරගන්නත් පුළුවන්.
 
කෘෂිකාර්මික කටයුතු සඳහා පූර්ණ අවධානය යොමු කරන අතරම, කඩිනම් ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළවලක් අප දියත් කර තිබෙනවා. රටේ සමහර කොටස් ආහාර හිඟයකින් පීඩා විඳින බව අප දන්නවා. ගම් මට්ටමින් ඒ පුද්ගල කොටස් හඳුනා ගැනීමට වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි. මේ හඳුනාගැනීම් ඔස්සේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
 
මුදල් සැපයුම සිමා කිරීමේ තාවකාලික ප්‍රයත්නයක් ලෙස පොළි අනුපාතික ඉහළ දැමීමට මහ බැංකුව තීරණය කළා. මේක බැලූ බැල්මට තනි තනි පුද්ගලයන්ට වාසියක් විදියට පෙනුනත්, සමස්තයක් ලෙස එයින් සිදුවන්නේ අවාසියක්. මේ නිසා ආර්ථික වර්ධන වේගය අඩුවී දේශීය ණය ගැනීම සීමා වෙනවා.
 
එහි ප්‍රතිඵලය වෙන්නේ ආර්ථිකය හැකිලී, පුද්ගලික අංශය පසුබෑමකට ලක්වීමයි. දැනට සිදු කර ඇති පුරෝකථන අනුව සියයට 7ත් 8ත් ප්‍රමාණයකින් ආර්ථිකය හැකිලීමට ලක්විය හැකියි.

එක පැත්තකින් ආර්ථිකය හැකිලෙනවා, අනෙක් පැත්තෙන් උද්ධමනය වැඩි වෙනවා. ඒ නිසා මේ තත්ත්වය වළක්වාගැනීමට අප පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.

1- මූලික පාරිභෝගික භාණ්ඩ සඳහා උපරිම මිල සීමාවන් නියම කිරීම
2- දේශීය නිෂ්පාදන සදහා ඇති බාධක ඉවත් කිරීම ඔස්සේ නිෂ්පාදනය හා ඵලදායීතාව වැඩි කිරීම
3- විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීම උදෙස් විදේශ විනිමය රෙගුලාසි යම් ප්‍රමාණයකින් ලිහිල් කිරීම
4- අත්‍යාවශ්‍ය නොවන ආනයන වළක්වාලන සිමා පැනවීම
5- වඩාත් යහපත් විවෘත වෙළෙදපොළ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම
6- තැන්පතු සඳහා පොලී සීමාවන් පැනවීම ඔස්සේ පොලී අනුපාත සීමිත මට්ටමක රඳවා ගැනීම
ආර්ථිකය යළි නගා සිටුවීමේ ගමන අප ඉදිරියට යා යුත්තේ පියවරෙන් පියවර. මේ ගැට්‍ළු කිසිවකට කඩිනම් විසඳුම් නෑ.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන මුදල් යොදවා මහ බැංකුවේ විදේශ සංචිතය යළි ශක්තිමත් කිරීමට යෙදවීමට අප ක්‍රියා කරනවා. 
රාජ්‍ය ව්‍යවසායන් මගින් රටට ඇතිකරන බර අඩු කිරීම මගින් මේ සංචිත තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකින් හෝ තුනකින් තර කිරීමට අපට හැකිවෙනවා.

ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අපට ලැබෙන මුදල ද එම සංචිතයේම රැඳවීමට අප තීරණය කර තිබෙනවා.
මීට සමාන්තරව අපේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා අතරමැදි ණය පහසුකම්වලින්, සංචාරක ව්‍යාපාරයෙන්, පුද්ගලික ව්‍යාපාරවලින් උපයන මුදල් යොදා ගන්නවා. අපනයන ආදායම් ඉහළ නංවනවා.
 
මෙවැනි යහපත් ආර්ථික පිළිවෙතක් ඔස්සේ විදේශ ශ්‍රමිකයන්ගේ විශ්වාසය යළි දිනා ගැනීමට අපට හැකිවෙනවා. ඔවුන් නැවතත් පෙර පරිදිම විදේශ විනිමය ලංකාවට එවන්නේ එවැනි විශ්වාසයක් මතයි.
 
මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වන්නේ අපට ජාත්‍යන්තර විශ්වාසය යළි දිනාගැනීමට අපට හැකිවීමයි.

අපේ රටේ බදු ව්‍යුහය සම්පූර්ණයෙන්ම සමාලෝචනය කර වෙනසකට ලක් කළ යුතුයි. වර්තාමනායේ සමස්ත බදු ප්‍රමාණයෙන් සියයට 80ක් පමණ වක්‍ර බදු. මේ රටේ හැම පුරවැසියෙක්ම නොදැන බදු ගෙවනවා. තමන් කිසිසේත්ම සම්බන්ධ නැති කර්යයන් සඳහා ඔවුන් බදු ගෙවනවා. රටේ අන්තිම දුප්පත් පුරවැසියාත් මේ බදු දැලට හසුවී තියෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීම යුගයේ අවශ්‍යතාවක්.
 
2019 දී අප අනුගමනය කළ බදු ප්‍රතිපත්තිය අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14ක් උපයා ගත්තේ බදු මුදලින්. නමුත් ඒ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා බදු ආදායම සියයට 8.5 දක්වා පහළට ඇද වැටුණා. දැන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඒ මුදල යළිත් සියයට 14ක් දක්වා ඉහළ නංවාලීමට එකඟ වුණා.

 
නමුත් එතැනින් සෑහීමකට පත් වෙන්නට අපට බැහැ. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව යහපත් පරිදි පවත්වාගෙන යන්නට නම් රජයේ බදු ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18ක් දක්වා නංවාගත යුතුයි. ඒ සඳහා මුදල් උපයා ගත යුත්තේ බදු ආදායමින්. එසේ නොමැතිව නැවත මුදල් අච්චු ගැසීමකට ගියොත් අපට අනාගතයක් නැහැ.

ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි, දිගු කාලීන මූල්‍ය සබඳතාවක් අපට නොතිබුණ නිසා ආදායම් අඩු වුණා. විදේශ වියදම් සහ ආදායම් අතර පරතරය වැඩි වුණ නිසා ,විදේශ විනිමය සංචිත කඩා වැටුණා. උද්ධමනය සීයට සීයකින් වැඩි වුණා. රුපියලේ අගය කඩා වැටුණා. පොලී අනුපාතය වැඩි වුණා නිසා  සම්පූර්ණ පහර ගැසීමට අපට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා
 
ඒ නිසා අපේ ආර්ථිකය හැකිලිලා  තිබෙන්නේ. අපි හිතුවේ රාජ්‍ය සංස්ථා හා බැංකු පද්ධති තුළින් ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යන්නයි. දැන් ඒක අසාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා මා දැනුවත් කළේ අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගෙන, ලෝක බැංකුවේ , ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ලබාගෙන,  බ්‍රිජින් ෆිනෑන්ස් රටවලින් ආධාර ලබාගෙන ආර්ථිකය ගොඩ නැගීමට ඊළඟ මාස දෙක තුනේදී පියවර ගන්නයි.

ඒ සඳහා අපිට තියෙනවා  අපේ නිෂ්පාදන වැඩි කරන්න ඕන.  අපේ විදේශ විනිමය වැඩි කරන්න ඕනේ. විදේශ විනිමය වැඩි වුණාට පස්සේ අපේ කර්මාන්ත හා සේවා  දියුණු වෙනවා. ඒ වගේම අපේ පාඩු ලබන ආයතනවල පාඩු අඩු කරලා , ආදායම වැඩි කළාම රජයේ අය වැය ශක්තිමත් වෙනවා. ඒ කාර්යය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මහ කන්නය සාර්ථක වුණාම වැඩි නිෂ්පාදන ශක්තියක් අපිට ලැබෙනවා. එයින් රාජ්‍ය ආර්ථිකයට ශක්තියක් ලැබෙනවා.
 
අනෙක් අතට විදේශ විනිමය සොයන්න සංචාරක කර්මාන්තය හරහා අපට පුළුවන්.  ඒ වගේම විදේශ රටවල සිටින අපේ ශ්‍රමිකයන් තමන්ගේ ආදායම් මුදල් ලංකාවට එවීම මගින් ආර්ථිකයට ශක්තිමත් දායකත්වයක් ලබා ගන්න පුළුවන්. මෙම වැඩපිළිවෙල ලබන වසරේ මැද සිට ක්‍රියාත්මක කරන්න අප බලාපොරොත්තු වෙනවා.
 
මේ අර්බුදය ජය ගැනීමේ අසීරු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේදී අපට පාලනය කළ නොහැකි ගෝලිය ප්‍රවණතාවන්ගෙන් පිඩා විදීමට අපට සිද්ධ වෙනවා. ඉන්ධන මිල එවැනි එක් දෙයක්. යුක්‍රේන යුද්ධයේ බලපෑම් නිසා ඉදිරි දෙසැම්බර් සහ ජනවාරි මාස වෙද්දි ලෝකයේ ඉන්ධන නිෂ්පාදනය පහළ වැටීමක් ගැන පුරෝකථනය කර තිබෙනවා. මේ නිසා ඉන්ධන මිල ඉහළ යනවා. එවැනි තත්ත්වකට මුහුණ දීමට දැන් සිටම අප සූදානම් විය යුතුයි. ඉන්ධන මිල ඉහළ යෑම පාරිභෝගිකයන්ට දරාගත හැකි මට්ටමක රඳවා ගැනීමට අප දැන් සිටම සැලසුම් කළ යුතුයි.
 
මා මෙහිදී තවත් වැදගත් කරුණක් අවධාරණය කරන්නට කැමතියි. 
ඔබ සියලුදෙනා විවිධ දේශපාලන අදහස් දරන අය. නමුත් ඔබේ දේශපාලන අරමුණු ඉෂ්ඨ සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ, මේ ආර්ථික අර්බුදයෙන්  රට ගොඩ ආවොත් පමණයි.

මම මේ ගමන් මගට අවතීරණ වුණේ අවදානමක් අරගෙනයි. විපක්ෂයේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් මේ අවදානම බාර ගන්නේ නැති අවස්ථාවක රට වෙනුවෙන් මම අවදානම බාර අරන්, අනතුරුදායක ගමනක් යන්න පටන් ගත්තා. අප හෙමින්, හෙමින් වගේම ස්ථාවරව මෙතෙක් ඉදිරියට ආවා. අපේ රටේ බහුතරයක් ජනතාව මේ ගමනට සහාය දක්වන බව අප දන්නවා. ඔවුන්ට අවශ්‍ය යහපත් ජීවිතයක්. යහපත් රටක්. යහපත් අනාගතයක්.

හැබැයි එහෙම අවශ්‍ය නැති අයත් ඉන්නවා. රට දවසින් දවස විනාශයට පත් කරලා, අර්බුදයට පත් කරලා දේශපාලන වාසි ලබාගන්න බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා. ඒ අය හැමදේම වැරදි විදියට දකිනවා.
 
මේ සමහර කණ්ඩායම් ලෝකයේ දශක ගණනාවකට කලින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ න්‍යායන් අදට ගලපන්න වෙහෙසෙනවා. ඒ කාලයේ යම් යම් දේශපාලන කන්ඩායම් කිව්වේ, පණ අදින මිනිහෙකුට වතුර පොදක් දීලා ජීවිතය බේරා ගන්න එපා කියලා. හාමතේ මැරුණාට පස්සේ මිනිය කර තියාගෙන රට වටේ යන්න කියලා. මේ න්‍යාය අදටත් ආදේශ කරන්න සමහර කණ්ඩායම් වෙහෙසෙනවා. පණ අදින ආර්ථිකයට හුස්ම පිඹින්න සහයෝගය නොදි, ආර්ථිකය අවසන් හුස්ම හෙළෙන තෙක් බලා ඉන්නවා. ඔවුන් හිතන්නේ ආර්ථිකය කඩා වැටි, ජනතාව හාමතේ මියයන තත්ත්වයට පත් වුණොත්, මළ කඳන් මතින් බලය ලබා ගැනීමට හැකි වන බවයි.
 
ඉතිහාසය පුරා ලෝකයේ කොහේවත් එහෙම බලාපොරොත්තු ඉටු වෙලා නැති බව විතරක් මෙම අවස්ථාවේ පෙන්වා දෙන්න කැමතියි. ඒ විදියට බලය ලබා ගත්තත්, ඒ බලය කෙළවර වෙන්නේ ඊටත් වඩා අවාසනාවන්ත විදියටයි.

එහෙම අදහස් දරන අයටත් මම කියන්නෙ තමන්ගෙ හෘද සාක්ෂියෙන් විමසා බලන්න කියලයි. දැන් දවස් ගණන් තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල ඉන්න ඕනෙ නෑ. පැය දහය දොළහ ලයිට් කැපෙන්නේ නෑ. පාසැල්, විශ්වවිද්‍යාල විවෘතයි. රට යළි යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව හැම ක්ෂේත්‍රයකම අපට දැනෙමින් තියෙන්නේ. යළිත් තම තමන්ගේ ජිවිත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට මේ රටේ ජනතාවට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ අවශ්‍යතාව කදිමට පිළිඹිඹු වු අවස්ථාවක් ලෙස, ඉතාම සාර්ථක ලෙස අවසන් වු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.
 
හැබැයි තව අඩුපාඩු ගණනාවක් තිබෙනවා. දුර්වලතා තිබෙනවා. ඒවා අප සකස් කර ගත යුතුයි. නිවැරැදි කරගත යුතුයි. එසේ කර මේ ගමන් මග වඩාත් ශක්තිමත් සහ වේගවත් කර ගන්න පුළුවන් වෙන්නේ ඔබ හැම දෙනගේම සහාය මේ සඳහා ලැබුණොත් විතරයි, ඒ නිසා මම නැවතත් ඔබෙන් ඉල්ලා සිටින්නේ, පැරණි කෝන්තර අමතක කර මේ ගමනට එක්වෙන ලෙසයි. විවේචනය කිරීම පහසුයි. වැරදි දැකීමත් පහසුයි. විරෝධය පෑමත් පහසුයි. හැබැයි විසඳුම් සෙවීම අසීරුයි.

මේ ආර්ථික අර්බුදයෙන් රට යළි ඔසවා තැබීම උදෙසා මම අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් ක්‍රමවේදයයි. වැටි තිබුණු රටක් යළි ගොඩ නැංවීමේදී මහා විජිත රජු අනුගමනය කළ කරුණු “කුඨදත්ත සූත්‍රය” මගින් බුදුන් වහන්සේ පෙන්වා දී තියෙනවා. යථා උපදෙස් පිළිගැනීම, ගැටලුවේ යථා ස්වරූපය අවබෝධ කරගැනීම, ගැටලුව සමස්තයක් ලෙස ගෙන සැලැස්මක් අනුව විසඳුම් සෙවීම සහ එම සැලැස්ම විශ්වාසයෙන් යුතුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීම ඒ කරුණුයි.

අප අනුගමය කරන්නේ මෙන්න මේ ක්‍රියාවලියයි. ඉතින් මේ ක්‍රියාවලියට ඔබේ උපරිම දායක්තවය ලබා දෙන ලෙස මම ඔබ සැමට ආරාධනා කරනවා. රට වෙනුවෙන් එකට එක්වී අපි මේ අභියෝගයට මුහුණ දෙමු.

ඒ නිසා පාර්ලිමේන්තුවේ ජාතික සභාව, ළගඳීම ස්ථාපිත කරන “ජනසභාව” පාර්ලිමේන්තු ආංශික කමිටු ආදිය ඔස්සේ රට ගොඩනගන පොදු වැඩපිළිවෙළකට එක්වන මෙන් මම නැවතත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.