Language Switcher

V2025

‘Viking Mars’ සංචාරකයන් සමග කොළඹට

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය ලොවටම ප්‍රදර්ශනය කරමින් සංචාරකයන් 700 දෙනකු රැගත් ‘Viking Mars’ නෞකාව කොළඹ වරායට සේන්දු විය.

වසර දෙකහමාරකට පසු මගී නෞකාවක් කොළඹ වරායට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, වසර දෙකහමාරක් පුරා පැවති කොරෝනා සහ ආර්ථික අර්බුදයෙන් පසු සංචාරකයන් 700ක් සහ කාර්ය මණ්ඩලය 450ක් රැගත් වයිකිං මාස් නමැති නෝර්විජියානු නෞකාව ඊයේ (18) පස්වරු 1.00ට කොළඹ වරායට පැමිණි බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.

මේ නෞකාව පිළිගැනීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සහ සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහත්වරුන් ඇතුළු පිරිසක් වරායේ මගී ජැටිය වෙත පැමිණ සිටි අතර, ඉන්දියාවේ ගෝවේ සිට පැමිණි මේ නෞකාව පැය 24ක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙන බවද ඔවුන්ට අවශ්‍ය රේගු, ආගමන විගමන හා තීරුබදු සාප්පු සංකීර්ණ පහසුකම් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇති බවද එම අමාත්‍යාංශය පවසයි.

2022 වර්ෂයේදී නිෂ්පාදිත මේ නෞකාවේ ගැඹුර මීටර් 6.7ක්, දිග මීටර් 229ක් සහ පළල මීටර් 32ක් වන අතර, නෝර්විජීයානු ධජය යටතේ යාත්‍රා කරන මේ නෞකාව මෙරට ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත කළමනාකරණ ආයතනයක් වන එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස්හි කළමනාකරණයෙන් මෙරටට පැමිණ ඇත. මේ නෞකාවෙන් පැමිණි සංචාරකයන් කොළඹ, මහනුවර, පින්නවල, ගාල්ල යන නගරවල සංචාරය කිරීමට නියමිත අතර, මුතුරාජවෙල සහ මාදු ගඟෙහි බෝට්ටු සවාරිවලටද එක් වනු ඇත.