උතුරේ ඉඩම්, නිවාස, සෞඛ්‍ය, වාරිමාර්ග කෘෂි ගැටලුවලට ජනාධිපතිගෙන් කඩිනම් විසඳුම් !

උතුරේ ඉඩම්, නිවාස, සෞඛ්‍ය, වාරිමාර්ග කෘෂි ගැටලුවලට ජනාධිපතිගෙන් කඩිනම් විසඳුම් !

ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08ක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඒ අනුව උතුරේ සහ දකුණේ සියලු ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (19) වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

උතුරු පළාතේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි මෙම සංවර්ධන කමිටු රැස්වීම කැඳවා තිබූ අතර එම දිස්ත්‍රික්කයන්හි මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීහු මීට එක්ව සිටියහ.

පළාතේ ඉඩම්, නිවාස, සෞඛ්‍ය, වාරිමාර්ග සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටලු හා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

උතුරු පළාතේ විවිධ ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා උතුරු පළාතේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය ද අපේක්ෂා කරන බව සඳහන් කළේය.

මෙතෙක් විසඳුම් ලැබී නොමැති ගැටලු රැසක් උතුරේ පවතින බවත් සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

1994 සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි කළ දෙමළ ජනතාවට තවමත් ඉඩම් ලබා නොදීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළේය.

සෙට්ටිකුලම ප්‍රදේශයේ ඉඩම් ගැටලුව මාස 03ක් ඇතුළ විසඳීමට මැදිහත්වී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන් අතර ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යංශයෙන් සහ ඉඩම් අමාත්‍යාංශයෙන් කරණු විමසීමක් සිදු කිරීමට කටුයුතු කරන බව ද පැවසීය.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ගොවි බිම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගෙන තිබීම හේතුවෙන් මතුව ඇති ගැටලු කෙරෙහි ද අවධානය යොමු කෙරිණි.

උතුරු පළාතේ ජනතාවගේ නිවාස ගැටලුව කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර උතුරු පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ජනතාවට අවශ්‍ය නිවාස ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති විවිධ අදියරවල පවතින බවත්, ඒ සඳහා තවත් රුපියල් මිලියන තුන්දහසක් පමණ අවශ්‍යව ඇති බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ නිවාස ව්‍යාපෘති රැසක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන බවත් උතුරේ ජනතාවගේ නිවාස ගැටලුවට ද කඩිනම් විසඳුම් ලබාදීමට තමා අපේක්ෂා කරන බවයි.

වව්නියාව වැව සහ තිරික්කුලම් වැව ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ අවශතා පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය.

දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය, පොහොර ගැටලුව විසඳීම සහ බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

උතුරු පළාතේ සෞඛ්‍ය ගැටලු සහ වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳව ද අවධානය යොමු වු අතර ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් අවශ්‍ය විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයන්ට භූමිතෙල් ලබා දීමේදී සිදුවන විවිධ අක්‍රමිකතා පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් කරුණු පැහැදිළි කළ අතර ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ,නාගරික සංවර්ධන නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, රිෂාඩ් බදුර්දීන්, චාල්ස් නිර්මලනාදන්,උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජ්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20221119 WA0009

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න