Language Switcher

V2025

2023 අයවැය : ලිබරල් ආර්ථික මාවතකට රට යොමු කරනවාද?  

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලැබූ අය වැය ලේඛනය පිළිබඳව සමාජයේ නොයෙකුත් විවේචන, ගැරහීම් සහ අප්‍රසාදයක් පමණක් අසන්නට ලැබේ.

මෙම අර්බුදකාරී අවස්ථාවේදී  මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පවතින්නේ ඉතාමත් ඇල්මැරුණ ස්වරූපයෙන් බව නොකියා සිටිය නොහැකිය.

යහපාලන සමයේ මංගල සමරවීර මහතා මුදල් ඇමැති වශයෙන් ඉදිරිපත් කළ අයවැය ගැන සමාජයේ යම් කතිකාවක් ඇති වූ අතර, ගම්පෙරළිය වැනි ජනතා හිතවාදී වැඩපිළිවෙළක් අයවැය ලේඛණය තුලින් ඉදිරිපත් කර එය සමාජගත කිරීමට ඔහුට හැකියාව තිබුණි.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක ණයක් බලාපොරොත්තුව සිටින රජය එම ආයතනය විසින් ලබා දුන් මගපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අනෙකුත් රාඡ්‍ය නිලධාරීන් බොහෝ වෙහෙසක් ගෙන ඉදිරිපත් කරන ලද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ 2023 අයවැය ලේඛනය දැනටමත් විරුද්ධ පක්ෂයේ විවේචනයටත් සහ සමාජයේ යම් කථිකාවකටත් ලක්ව ඇත.

එහි උච්චතම අවස්ථාව වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අභයවර්ධන අයවැය කතාව කරමින් පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා මහබැංකුවට එල්ල කරනු ලැබුවේ මාරාන්තික ප්‍රහාරයක්  බව ආණ්ඩුවේ නිලධාරීන් තේරුම් ගත යුතුව ඇත.  

ලිබරල් ආර්ථික මාවතකට රට යොමු කරනවාද?  එසේ නැතහොත් සමාජීය වෙළඳපල ආර්ථිකය පදනම් කරගෙනම දෙකෝටියකට අධික ජනතාවගේ අපේක්ෂා ඉෂ්ට වන ආකාරයේ සහ සමාජ ආරක්ෂණය අවරණයක් සහිතව ජනතාවගේ අපේක්ෂා ඉෂ්ට කරමින් කඩා වැටුණ ආර්ථිකය නව මාවතකට යොමු කරනවා ද යන්න 2023 වර්ෂයේ අපට ඇති අභියෝගයයි.

වගකිවයුතු මාධ්‍යයක් ලෙස බොහෝ මාධ්‍යයන් කරන ආකාරයට 2023 අයවැය ලේඛනයට අපටත් ආවැඩිය හැකි වුවත් මේ පැයේ රටට අවශ්‍ය හේතුව  ආර්ථික වැඩපිළිවෙළක් නිවැරදිව සැලසුම් කර  ජනගත නොකළ හොත් එහි ප්‍රතිඵල අපට බලාගත හැකි වන්නේ 2023 අවසානයටය.
ඒ සඳහා හේතු ගණනාවක් ඇත.

වසර 75 ක් තිස්සේ මෙරට පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කර ඇති අතර අවම වශයෙන් 10%ක වර්ධනයක් වාර්ෂිකව ලබා ගත්තේ නම් අද අප සිටින්නේ මේ ආර්ථික ආගාධයේ නොව. අවම වශයෙන් බංග්ලාදේශය වැනි රටක් ඉන්න ස්ථානයේය.

සුපුරුදු පරිදි ශ්‍රී ලාංකීය රාජ්‍යය නිලධාරීන් විසින් ජනාධිපති තුමාගේ ගුණ ගායනා කිරීමත් ආරම්භ කර ඇති ප්‍රතිසංස්කරණ වැඩ පිළිබඳ මෙම අර්බුදය සඳහා ඇති එකම විසඳුම බවත් ප්‍රකාශ කරමින් කරමින් සිටී.  2022 ජුලි / සැප්තැම්බර් මාස වල රට සිටි තත්ත්වයට වඩා පියවරක් ඉදිරියේන් සිටියත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ගන්නා ලද තීරණ නිසා රට අභ්‍යන්තරයේ ඇති වී තිබෙන පීඩනය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හෝ ඔහුට සහය දෙන පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ වන විටත් තේරුම් ගෙන නොමැත.

විපක්ෂයේ කිහිප දෙනෙකු එනම්  පාඨලී චම්පික, එරාන් වික්‍රමරත්න අඩු වැඩි වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට අභ්‍යන්තරයේ  මෝදුවන  පීඩනය ගැන අවධානය යොමු කරමින් අයවැය විග්‍රහ කරන ආකාරයත්, පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් අයවැය විවාදයේද මතුකරන ලද කාරණා පිළිබඳව මෙම අයවැය විවාදය අතරතුර අවධානයට ලක් කළ යුතුය.

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ කිලොමීටර් 100,000යේ පාරවල් ප්‍රතිසංස්කරණ වැය ශීර්ෂ මෙම  අයවැය ලේඛනයේ නොමැති වීම අගය කළ යුතුය.

එහෙත් වර්තමානයේදී ජනතාවට දැරීමට සිදුව ඇති දැඩි ආර්ථික පීඩනය පිළිබඳව රජය නොසැලකිලිමත් වීම තවත් අරගලයකට පාර කපා ගැනීමක් විය නොහැකිද?

මෙම අයවැය ලේඛනය මානුෂික අයවැය ලේඛණයක් ද? කොහෙත්ම නැත.

මේ වන විට රටේ උද්ධමනය 70%ක් පමණ ප්‍රමාණයක්ද ආහාර උද්ධමනය 94% ක පමණ ප්‍රමාණයකින් ද පවතින රටක අයවැය ලේඛණයක්  ඉදිරිපත් කිරීමේදී ඒ පිළිබඳ රජය  අවධානය යොමු කරාද?

පසුගිය සතියේ නැවත පනවන ලද සෙස් බද්ද නිසා භාණ්ඩ වර්ග 670 ක මිල ඉහළ ගොස් ඇත. මෙම බද්ද ගෙවනු ලබන්නේ පාරිභෝගිකයන්ය. රජය තේරුම් ගත යුත්තේ දියුණු රටවල් වන එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල 11% ක් දක්වා ඉහළ ගොස් ඇති උද්ධමනය සියයට 7%ක් දක්වා අඩු කිරීමට ඔවුන් කොතෙක් වෙහෙසක් ගන්නවාද යන්නටත් අපේ නිලධාරීන්ට අවබෝධයක් නොමැත.

 ආහාර උද්ධමනය අඩු කිරීමට නම් දේශීය නිෂ්පාදනය වහා ඉහළ දැමිය යුතුය.

ගෝඨාභය ගේ කාබනික පොහොර සංකල්පයෙන් 2020 අප්‍රේල් මස සිට කඩා වැටුන වැවිලි කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය නැවත 2019 මට්ටමට හෝ ගෙන ඒමට වැඩපිළිවෙළක් මේ අය වැය ලේඛනය තුළ තිබේද?

* අහස උසට ඉහළ ගොස් ඇති මාලු මිල, කුකුල් මස් සහ බිත්තර මිල අඩු කිරීමට කෙටිකාලීන සහ මධ්‍යම කාලීන වැඩපිළිවෙළක් මෙම අයවැය ලේඛනය තුළ තිබෙනවා ද?

 නැත. නිලධාරීන්ගේ පහළ මට්ටමෙන් ලබාදෙන සංඛ්‍යා ලේඛන මත පමණක් මෙම රජය යැපෙමින් සිටී.

* මුදල් සැපයුම  පාලනය කිරීමට හෝ බැංකුවල ද්‍රවශීලීතාවය ආරක්ෂා කර ගැනීමට ඉහළ දමන ලද පොලිය ජනතාවට දැරිය හැකි ද?  මේ වන විට තැන්පතු පොලී අනුපාතය 25%  ක් සහ 26% ක් මට්ටමට ගොස් ඇති අතර ණය පොලී 32% ක් සහ 35% ක් අතර වේ.
වජිර අබේවර්ධන මතු කළ මෙම කාරණය ඉතාමත් වැදගත් එකකි. එය යම් පාලනයකට නතු කළ නොහැකිද?

පාසල් දරුවන් සඳහා පෝෂණයට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කර, අවශ්‍ය පාසැල් වල ද දරුවන්ට අංගසම්පූර්ණ දිවා ආහාරයක් ලබා දෙන වැඩපිළිවෙළක් අයවැය ලේඛනය තුළ ඇද්ද?

සෙස් බද්ද නිසා ඉහළ යන පාසැල් පොත් බෑග් සපත්තු සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකි වීමෙන් 20%ක් පමණ පාසැල් යාම අතරමග නතර විය හැකි බව අනාවැකිවලින් පළවේ. මෙවැනි තත්වයක් ඇති වුවහොත් ඉදිරි වසර තුන තුළ සමස්ත විශාල පිරිහීමක් සිදුවිය හැකිය.

* අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලබාදීම මීට වඩා ක්‍රමවත් ව කළ නොහැකිද? ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළිකරන කරුණුවලට සෞඛ්‍ය ඇමැතිතුමා අවධානය යොමු කර ඇත්ද?

* උද්ධමනය 90%ක්  ඉහළගොස් ඇති අවධියක මුදලේ අගය ද 100%ක් පහත වැටීම සාමාන්‍ය ආර්ථික සිද්ධාන්තයකි.

එනම් 2020 දී රුපියල් තිස්පන් දහසකට ගත් භාණ්ඩ සඳහා අද රුපියල් 100,000 ක් ගෙවිය යුතුය.

මාසයක ඒ බදු සහන සීමාව රුපියල් 250,000ක් වූ අතර එය අද ලක්ෂය දක්වා අඩුවී ඇත.

මෙම තත්ත්වය නිසා ජීවන  තත්ත්වය පහළ වැටීම නිසා රට හැර යන බුද්ධිමත් තරුණ කොටස්, සුළු සහ ධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන් ගැන රජය තවදුරටත් සිතනවාද?

* රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කිරීමේ පරමාර්ථයෙන් සහ රජයේ අලාභ ලබනරාජ්‍ය සංස්ථා 52ක් පැවතිය දී රජයේ ලාභ ලබන රක්ෂණ සංස්ථාව ටෙලිකොම් ආයතනය වැනි ආයතන 100%ක් විදේශිකයන්ට අලෙවි කිරීමේ ව්‍යාපෘතියකට ප්‍රමුඛස්ථානය ලබා දෙනවාද? එසේ නොමැති නම් පාඩු ලබන ආයතන 52ක ප්‍රතිසංවිධානය කිරීම, පෞද්ගලික අංශයට ලබා දීම රජය පෞද්ගලික සමාගමක් බවට පත් කරනවාද යන උභතෝකෝටික ප්‍රශ්න රාශියක් මේ අයවැය ලේඛනය තුළ ඇති බව පමණක් අපි අවධාරණය කරමු.

-බාහිර ලේඛකයකුගේ සටහනකි.
[ලේඛකයා සිය අනන්‍යතාවය හෙළිනොකරන ලෙස කළ ඉල්ලා තිබේ.]