දේශීය ආදායමේ බිලියන 7900ක් වතුරේ !

දේශීය ආදායමේ බිලියන 7900ක් වතුරේ !

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන්නේ රටේ ආදායම් එකතු කරන ආයතනය. එතන ඉන්නේ අපි වගේ කියවිලි කාරයොයි ලියවිලි කාරයෝයි නෙවෙයි. සල්ලි හොයන්න පුලුවන් වැඩ්ඩෝ..

ඒක හින්ද නේ උන්දැලාට හෙන පඩි පැකට් ගෙවන්නෙ.

ඒ උනාට පහුගිය දවස් වල කෝපා එකේදී ලොකු ප්‍රශ්නයක් මතුවුණා. ප්‍රශ්නය තමයි ලැබෙන්න තියෙන ආදායම් ලබාගන්න දේශීය ආදායම් එක උත්සාහ කරල නෑ...

පොඩ්ඩක් එහෙම නෙමෙයි... අවුරුදු 5ක කාලයක් ඇතුළත රුපියල් බිලියන 7900ක්...

මෙහෙම වෙන්න ගොඩක් හේතු තිබුණා. එක හේතුවක් තමයි ආදායම් බදු එකතු කරන්න පාවිච්චි කරන රැම්ස් කියලා කියන මෘදුකාංගය හරියට වැඩ නොකිරීම. ඒකත් බිලියන 10 ක් වියදම් කරලා සිංගප්පූරුවෙන් ලබාගත් මෘදුකාංගයක් කියලයි කියන්නේ.

රටේ ආදායම් අඩු වෙන්න ඔය වගේ හේතු ගොඩක් තියෙනකොට, විගණකාධිපති ඒ ගැන ප්‍රශ්න, කරලා දේශීය ආදායම් එකට කිව්වේ මේ ගැන පුළුල් වාර්තාවක් දෙන්න කියලයි...

වාර්තාව දෙන එක මෙච්චර දවස් පරක්කු වෙලා තිබුනේ.

බදාදා හවස 06:00 ට රාජ්‍ය මුදල් ඇමති ඇමැති රංජිත් සියඹලාපිටිය ෆයිල් ගොඩකුත් අරගෙන සභා ගැබට දිව්වේ, ආන්ඩුවේ ආදායම් අඩු වීම ගැන තියන විවාදයකට සම්බන්ධ වෙන්න. එදා කෝපා එකේදි මතුවුණ බිලියන හත්දාස් නවසීයෙ ප්‍රශ්නේ නිසැකවම මෙතනදිත් මතු වෙන නිසා, ඔහු විගණකාධිපති එදා ඉල්ලපු වාර්තාවත් සූදානම් කරල අරගෙනයි ගියේ...

කොහොම වුණත් ඒ විවාදය ඒ තරම් උණුසුමින් ඇදිලා ගියේ නෑ. ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඔක්කොම වගේ වෙන මොකක්දෝ වැඩකට යන්න සූදානම් වුණා...

විපක්ෂයේ ඉන්න සමහර අය මේක ගැන දැනගෙන හිටියේ නෑ . ආණ්ඩුවේ කට්ටිය කිව්වේ පාටියකට යන්න තියෙනවා කියලා. හැබැයි ඒ පාටිය මොකක්ද කියලා කවුරුවත් කිව්වේ නෑ.

ඇත්තම කියනවා නම් ඒක පාටියකට වඩා ඩිනර් එකක් කිව්වට කමක් නෑ. තිබුනේ අරලියගහ මන්දිරයේ...

හවස විවේකයක් ලැබුණු වෙලාවේ චාමර සම්පත්ල , ජගත් පුෂ්පකුමාරලා , නලින් ප්‍රනාන්දුලා එකට වාඩි වාඩි වෙලා කතා කර කර හිටිය හවස තියෙන හමුව ගැන. මේ කතාවට තව කීප දෙනෙක් වට වුණා... අගමැති දිනේෂ් ගුණවර්ධන හිටිය ගමන් මේ වගේ පාටියක් දාන්න හේතුව මොකක්ද කියලා සමහරු හෙව්වා.

"බොන්නත් දෙයිද... අරලිය ගහ මන්දිරයට ගිහින් හුඟ කාලෙකින් බිව්වෙ නෑ..."

"ඔවු ඔව්... කාලයක් මහින්ද මහත්තයා ඔතන ඉද්දි, හැමදාම ඉතින් උඹලට රජ මඟුල්.."" කියමින් මන්ත්‍රීවරයෙක් හිනා උනා.

කොහොම වුණත් මන්ත්‍රීවරු වෙනදටත් කලින් පාර්ලිමේන්තුවෙන් පිට වෙලා ගියේ බොහෝම ඉක්මනින් දිනේෂ් අගමැතිගේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වෙන්න බලාගෙන....

දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න