ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගත් පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පොළොන්නරුව පොලීසියට අනුයුක්තව සේවය කර ඇති 55 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් වාර්තා වෙයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා පොලිස් නිලධාරීන් 14දෙනෙකු විවිධ පොලිස්වලට ස්ථාන මාරු කර යවන ලෙස දන්වමින් ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් යොමුකළ බවට හැඟවෙන ලිපියක් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
එම ලිපිය සම්බන්ධයෙන් සැක සිතූ උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි සත්‍යයතාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසීමක් සිදුකර තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ එවැනි ලිපියක් සාගල රත්නායක විසින් යොමුකර නොමැති බවයි . ඒ අනුව අදාළ ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඔහු විසින් පොලිස්පතිවරයාට දැන්වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
අදාළ සැකකරු විසින් උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවන ලද ලිපියක් ද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
