Language Switcher

V2025

ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාම අනිවාර්යයි - IMF

ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රීනිවාසන් පැවසුවේ “ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ වේගය දිගටම පවත්වාගෙන යාම දැන් අත්‍යවශ්‍යයි”

මෙම වසර අගදී පැවැත්වෙන පළමු සමාලෝචන මෙහෙයුමට පෙර නිත්‍ය උපදේශනවල කොටසක් ලෙස IMF නියෝජිත කණ්ඩායමක් මැයි 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියි.

මොවූහූ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වූහ.

ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාව සඳහා IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රවර් පැවසුවේ රජයේ සාර්ව ආර්ථික රාමුව සුදුසුද නැතහොත් එයට සංශෝධන අවශ්‍යද යන්න පිළිබඳව සොයා බලන බවයි.

අභියෝගාත්මක ගෝලීය පරිසරය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද?

ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව අතීතයේ ගත් වැරදි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ එකක් පසුපස එකක් වශයෙන් පැමිණි ආර්ථික කම්පන හේතුවෙන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණය සඳහා සහය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක මණ්ඩලය මාර්තු 20වැනිදා ඩොලර් බිලියන 3ක් පමණ වන මාස 48ක විස්තීරණ ණය පහසුකමක් අනුමත කළේය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ මෙය අර්බුදය නිරාකරණය කිරීම කරා වැදගත් පියවරක් සනිටුහන් කළ බවයි.

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේදී සියයට 1.5% ක සාමාන්‍ය වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරයි.

ශ්‍රීනිවාසන් පැවසුවේ 2023 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 3% කින් සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මෙම අපේක්ෂාවන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මකකිරීම මත බෙහෙවින් තීරණාත්මක ලෙස රඳා පවතිනු ඇතැයි ශ්‍රීනිවාසන් අවධාරණය කළේය.

පාවෙන පොලී අනුපාතියක් මත ශ්‍රී ලංකාවට මෙම ණය පහසුකම ලබා දී ඇති බවත්, ගෙවා නිමවන විට මෙම ණය මුදලේ පොලී අනුපාතය 5%ක් පමණ වනු ඇති බවත් පීටර් බ්‍රවර් මෙහිදී අනාවරණය කළේය.

ප්‍රධාන කරුණු 5ක් ගැන IMF ප්‍රමුඛතාව !

විස්තීරණ අරමුදල් පහසුකම යටතේ සහාය ලද මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මත ගොඩනඟා ඇති අතර ප්‍රධාන ආධාරක පහක් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කළේය.

සමාජ ආරක්ෂණ ජාල, රාජ්‍ය මූල්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ සහ පිරිවැය ආපසු අයකර ගැනීම පදනම් කරගත් බලශක්ති මිල කරණයෙන් සමන්විත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව.

ණය ප්‍රතිව්‍යුකරණය ඔස්සේ රජයේ මෙහෙයුම් කටයුතුවල ස්ථාවර මූලයනයක් තහවුරු කරගැනීම ඇතුළු රාජ්‍ය ණය තිරසර බව යළි පිහිටුවීම.

මිල ස්ථායීතාව යළි පිහිටුවීමට සහ සංචිත යළි ගොඩනැගීමට බහුපාර්ශ්වික උපායමාර්ගයක් යෙදීම

මූල්‍ය අංශය ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රතිපත්ති.

දූෂණ අවදානම් සඳහා පිළියම් යෙදීමට සහ වර්ධනය ඉහළ නැංවීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකිරීම

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත සර්වත් ජහන් පැවසුවේ අර්බුදය සමග ලාංකිකයින් ලක්ෂ 3ක් පමණ රට හැර ගොස් ඇති බවය. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමත් සමග ඔවුන්ට යලි දිවයිනට පැමිණීමට විශ්වාසයක් ගොඩනැගෙනු ඇතැයිද ඇය පැවසුවාය.

බීබීසී