ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය බරපතල ලෙස ඔඩුදුවා ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ වන විට පක්ෂය රනිල් පාර්ශවය, මහින්ද පාර්ශවය, ගෝඨා පාර්ශවය මෙන්ම මෛත්‍රී පාර්ශවය ලෙස කොටස් 4ක් සම්බන්ධව කියවෙන බවත් එම පාර්ශවයන් නම් කර ඇත්තේ පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
රනිල් පාර්ශවය හැර සියළු දෙනාම ආණ්ඩුවෙන් ඉවත්වෙනවා - චන්දිම
මේ අතර මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කර සිටියේ එජාපයට සහය දක්වන ශ්‍රීලනිප කණ්ඩායම හැර අනෙක් සියළු මැති ඇමතිවරු ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීන්දු කර ඇති බවය.
ඒ අනුව ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වනු ඇති බවද ඔහු සඳහන් කර සිටියි.
තුන්වන මධ්‍යම කාරක සභාව තීරණාත්මකයි - අනුර යාපා
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කර සිටින්නේ එළඹෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණාත්මක වනු ඇති බවය.
මේ වන විට පක්ෂය තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සාකච්ඡා කිරීම සඳහා පක්ෂ මධ්‍යම කාරක සභාව දෙවරක් රැස්වූ නමුත් ඒ ගැන තීන්දුවක් ගැනීමට නොහැකි බවත් තෙවන වර හමුවේදී බොහෝ දුරට තීරණාත්මක තීරණයක් ගනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.
ශ්‍රීලනිප තීන්දුව අලුත් ගිවිසුමක් - මහින්ද අමරවීර
කෙසේ වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරන්නේ ආණ්ඩුව ශක්තිමත් ගමනක් යාමට අපේක්ෂාවෙන් නව ගිවිසුමක් අත්සන් කිරීම ශ්‍රීලනිප තීරණය බවයි.
පැරණි ක්‍රමයේ පැවති අඩුපාඩු හඳුනාගෙන එම අඩුපාඩු නැවත සිදුනොවීම සඳහා අමුණුගම කමිටු වාර්තාව යෝජනා ඉදිරිපත් කර ඇති බවත් නව ගිවිසුමට පදනම් වන්නේ එම යෝජනා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

