මේ රටට අවශ්‍ය වන්නේ මූල්‍ය විනයක් රවීගෙන් සැර උත්තරයක්

මේ රටට අවශ්‍ය වන්නේ මූල්‍ය විනයක් රවීගෙන් සැර උත්තරයක්

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා කළ යුත්තේ ජනතාවගේ බදු බර වැඩි කිරීම නොව බදු ගෙවන ජනතාවගේ පරාසය වැඩි කිරීම යැයි හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක රවී කරුණානායක මහතා අවධාරණය කර සිටින අතර ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ ද කියා සිටියි.
"ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙවර කියා තිබෙන්නේ ද, ඒ අය අවුරුදු ගණනාවක් තිස්සේ කියා සිටී ආකාරයටම මේ රටට මුල්‍ය විනයක් අවශ්‍ය වන අතර සියලු දෙනා ඊට සහය ලබා දීම අවශ්‍ය බවයි. මේ මොහොතේ අප කළ යුත්තේ බදු ගෙවන ජනතාවගේ පරාසය වැඩි කිරීමයි. බදු ගෙවන්නන්ගේ පරාසය වැඩි කරනවා කියන්නේ බදු ගෙවන පුද්ගලයාගෙන් තව තවත් බදු අය කර ගැනීම නොව බදු ගෙවන පුද්ගලයින්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීමයි.
මගේ විග්‍රහයේ හැටියට පළමු අදියරයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අපේ යම් දුර්වලතාවයක් පෙනී ගොස් තිබෙන නමුත් මේ දුර්වලතාවයන් අපට සුද්දාම කියන්න අවශ්‍ය නැහැ. රටක් ලෙස අප යම් අවස්ථාවක දී බදු ලිපි ගොනු ප්‍රමාණය අඩු කළා. එසේ නම් මේ මොහොතේ කළ යුත්තේ ඒ බදු ලිපි ගොනු ප්‍රමාණය යළි වැඩි කර ඒ ඔස්සේ බදු වැඩි වැඩියෙන් එකතු කිරීමයි. රටේ ශීඝ්‍ර සංවර්ධන සඳහා හැකි තරම් ඉක්මනින් එම බදු ලිපි ගොනු ප්‍රමාණය වැඩි කළ යුතුයි.
2015 දී අප ආරම්භ කළ ඒ ගමන නොකඩවා ඉදිරියට ගෙන ගියා නම් මේ රට කවදාවත් බංකොලොත්භාවයට පත් නොවන අතර බදු ගෙවන ප්‍රමාණය ද වැඩි වී රට ද සංවර්ධනය වනවා. බදු බර වැඩි කිරීම රටට-ජනතාවට ඔරොත්තු දෙන්නේ නැහැ. අප කළ යුත්තේ බදු ගෙවන වපසරිය වැඩි කර දරා ගත හැකි බද්දක් මිනිස්සුන්ගෙන් අය කිරීමයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිව්වා කියා අපට ජනතාව මත පනවා ඇති බදු 50%කින් හෝ 60%කින් කිසිසේත් වැඩි කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ. මිනිස්සුන්ට ගෙවන්න පුළුවන් හැකියාවක් තිබිය යුතුයි. සාධාරණ විය යුතුයි. ඒ වගේම සියලු දෙනා මීට දායකත්වය දිය යුතුයි.
සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින්ට බදු ගෙවිය හැකි සීමාවක් තිබෙනවා. පොලී අනුපාතිකය විශාල ලෙස වැඩි කිරීම මේ අයට දරා ගත නොහැකි වී තිබෙනවා. මේ සියල්ල ප්‍රායෝගික විය යුතුයි. මේ ප්‍රශ්නය සකච්ඡා කර විසඳන්නේ කෙසේ ද කියා රජයේ නිලධාරීන් දැන ගත යුතුයි. අපට රුපියල් 100ක් උපයා ගැනීමට අවශ්‍ය නම් ඒ ඉපයීම කළ යුත්තේ කෙසේද කියා අප දැන ගත යුතුයි. ඒ ගැන අපට සුද්දා කියන්න අවශ්‍ය නැහැ.
දිවංගත ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මැතිතුමාගේ සංකල්පය තමයි අපේ රටට ඔබින්නේ...1977 දී එතුමා විවෘත්ත ආර්ථික සංකල්පය හරහා රට ලෝකයට එකතු කළේ නවීකරණයක් සිදු කිරීම සඳහායි. ලෝකයේ හැම තැනම සංවෘත්ත ආර්ථිකය කඩා වැටී තිබුණ අවස්ථාවක දී එතුමා විවෘත්ත ආර්ථිකය හඳුන්වා දෙමින් රට ලෝකයට එකතු කර සංවර්ධනය කරමින් ඉදිරියටම ගෙන ගිය.
දේශපාලකයින් කරන්නේ කයිවාරු ගැසීම විතරයි. මේ අය කරන්නේ වැඩ කරන සහ වැඩක් කළ හැකි පුද්ගලයින්ට පහර දීම විතරයි. රට ගොඩගැනීමට නම් අප සියලු දෙනා මහන්සි වී එකා වගේ වැඩ කළ යුතුයි. රටේ මිනිස්සුන්ගේ දැනුම්වත් භාවය හැකි තරම් වැඩි කළ යුතුයි. බුද්ධි ගලනයට තිත තැබිය යුතුයි."

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න