ජනපති සහ චීන උප අගමැති අතර හමුවක් !

ජනපති සහ චීන උප අගමැති අතර හමුවක් !

මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් - සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව තමන්ට ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බවත්, එසේම චීනය සෑමවිටම ශ්‍රී ලංකාව වෙත සහයෝගයේ දෑත දිගු කරන බවත් චීන උප අගමැති (Ding Xuexiang) පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ චීන උප අගමැතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (19) පස්වරුවේ බීජිං නුවරදී පැවැත්වුණු අතර එහිදී චීන උප අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා “එක් තීරයක් - එක් මාවතක්” වැඩසටහන යටතේ පූර්ණ සහාය ලබාදෙන බව මෙහිදී පැවසූ චීන උප අගමැතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ මෙම ව්‍යාපෘති දෙකම සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාව එළැඹුනු ප්‍රථම විදේශීය වාණිජ ගිවිසුම චීන - ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම බව මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඒ ඔස්සේ ඉදිරියට යමින් දෙරටේ පොදු ප්‍රතිපත්තීන්ට සරිලන නව වාණිජ සබඳතා ඇතිකරගත යුතු බව ද පෙන්වා දුන්නේය.

ශ්‍රි ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ චීනය ලබා දුන් සහාය ඉතා අගය කරන බවද පැවසු ජනාධිපතිවරයා ඈත අතීයේ සිටම ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වය ශක්තිමත් තලයක පැවති බවත්, ජනාධිපති ෂී ජින් පිං  යටතේ එය වඩාත් තහවුරු වී ඇති බවත් සඳහන් කළේය.

ඉන්දීය සාගර කලාපයේ අනන්‍යතාව සහ සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයක් යොමු කරන බවත්, බල අරගලයක ගොදුරක් බවට ඉන්දියන් සාගරය පත් කර ගැනීමට අවකාශ ලබා නොදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙහිදී අවධාරණය කළේය.

චිනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම ශ්‍රි ලංකාව RCEP හෙවත් කලාපීය ආර්ථික සබඳතා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව අවසානයේ චීන උප අගමැතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ප්‍රමුඛ දූත පිරිස වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමීය.

විදේශ අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි, විදේශ අමාත්‍යාංශයේ ප්‍රධාන සන්ධාන නිලධාරී සෙනරත් දිසානායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානි කේ.කේ. යෝගනාදන්, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ රිෂාන් ද සිල්වා යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න