Language Switcher

V2025

ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් : ප්‍රසන්න පොහොට්ටුවට යුතුකම අවධාරණය කරයි !

ජනාධිපතිවරණය කල් දැමීමට ආණ්ඩුවේ කිසිදු සුදානමක් නොමැති බවත්, ඉදිරි ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොත් ඔහුට සිය සහය හිමිවන බවත්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක , අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දිය යුතු බව සිය පෞද්ගලික මතය බව අවධාරණය කරන ඇමතිවරයා මේ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් අවස්ථාවක් ලබා දීම පොහොට්ටුව ඇතුළු රටට ආදරය කරන සියලු පාර්ශවයන්ගේ යුතුකමක් බවද අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැම විටම රට ගැන සිතා තීන්දු තීරණ ගත් පක්ෂයක් බැවින් නිවැරදි මොහොතේ සිය පක්ෂය එම තීරණය ගනු ඇතැයි තමන්ට විශ්වාස බවද ඇමතිවරයා සදහන් කරයි.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මේ බව සදහන් කළේ අද (14) මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් ඇමතිවරයාට යොමුකළ ප්‍රශ්න හා ලබා දුන් පිළිතුරු මෙසේයි.

ප්‍රශ්නය – ඇමතිතුමා අද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මොකක්ද තිබුනේ?

පිළිතුර – 2024 වසර සදහා විශාල සංවර්ධන අරමුදලක් මහනුවර දිස්ත්‍රික්කයට ලැබිලා තියෙනවා. දිස්ත්‍රික් සංවර්ධන අරමුදලත්, කදුකර දශකය වැඩසටහනත්, පළාත් සභා අරමුදල් රජය ගන්නා වු ප්‍රතිපත්ති පදනම් කරගෙන කටයුතු කරන්නත්, ජනතාවගේ අවශ්‍යතාවට සහ ජනතාවට සෘජුවම ප්‍රතිලාභ ලැබෙන විදිහට මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් තමයි රජය කටයුතු කරන්නේ. ඒ පිළිබදව දැනුවත් කරන්න තමයි අද අපි ආවේ.

ප්‍රශ්නය – දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මාධ්‍යවේදීන්ට වාර්තා කරන්න දෙන්නේ නැහැ. ඇයි ඒ?

පිළිතුර – එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ගන්නා තීන්දුව අනුව තමයි ඒක කරන්නේ. අවශ්‍ය දේවල් මාධ්‍ය වලට දෙනවා. අනවශ්‍ය දේවල් ජනතාව නොමග යන දේවල් පවා මාධ්‍යවලින් සිදු වෙනවා නේ. ඒ නිසා ද දන්නේ නැ එහෙම තීන්දුවක් අරන් තියෙන්නේ.

ප්‍රශ්නය – ඔබතුමාලා පසුගිය සමයේ දැඩි ලෙස වත්මන් ජනාධිපතිතුමාව විවේචනය කළා. ඔබතුමා එතනින් ඉදිරියෙන්ම ඉන්නවා. දැන් ඔබතුමාලා ජනාධිපතිතුමාට සෙත්කවි කියමින් ඉන්නවා. එතුමාට ආයේ දෙන්න ඕනි කියනවා?

පිළිතුර – අපි අදටත් නියෝජනය කරන්නේ 69 ලක්ෂය තමයි. අපිට 2/3 බලයක් පාර්ලිමේන්තුවේ ආවා. අපේ වෙලාවට කොරෝනා ආවා. රට වහන්න සිද්ධ වුණා. ඔබතුමාලට මතක ඇති කොරෝනා කාලේ වැක්සින් ගහනකොට සමහරු කිවුවා ගහන්න එපා පිරිමින්ට ළමයි හම්බ වෙන්නේ නැහැ කියලා. දේශපාලන පක්ෂවල සමහරු බලාපොරොත්තු වුනේ ලක්ෂයක් දෙකක් මැරෙයි කියලා. නමුත් එන්නත් තුනම ගහලා රට අරින්න හදනවිට එහෙම කරන්න එපා කියලා වෘත්තිය සමිති කිවුවා. මාධ්‍යවල විශාල ප්‍රචාර දුන්නා ඒවාට. රටේ ආර්ථිකය කඩන් වැටෙන්න විවිධ හේතු මුල් වුණා. එදා ජනතාව කිවුවේ යුද්ධය දිනලා දෙන්න වෙන මුකුත් එපා කියලා. මහින්ද මහත්තයා ඒක කළා. දෙවෙනි පාර එතුමට කිවුවේ රට සංවර්ධනය කරන්න කියලා. ඒකත් කළා. ඊට පස්සේ යහපාලනය ගේන්න අවශ්‍ය වුණා. රටේ ආරක්ෂාව ගැන හිතලා ගෝඨාභය මහත්තයා ගෙනාවා. එතුමා ඒක කළා වගේම මිනිසුන්ගේ ජීවිත බේරුවා. අද තියෙන්නේ රටේ ආර්ථික අර්බුදයක්. අපි එදා පක්ෂයක් විදිහට හිතුවා මිනිසුන් අපි ගැන තියෙන විශ්වාසය නැති නම් අපි සියලු තනතුරුවලින් අයින් වෙමු කියලා. ගෝඨාභය මහතා ජනාධිපතිකමින්, මහින්ද මහතා අගමැතිකමින් අපි ඇමතිකම්වලින් අයින් වුනා. අපි ආරාධනා කළා, රට ගොඩගන්න පුළුවන් කෙනෙක් ඇවිත් භාර ගන්න කියලා. අපි උදව් කරන්නම් කියලා කිවුවා. නමුත් කවුරුත් ඉදිරිපත් වුනේ නැහැ. මේක භාර ගන්න කාටවත් කොන්දක් තිබුනේ නැහැ. පාර්ලිමේන්තුවේ තනි මිනිහා වුනු රනිල් මහත්තයා ඇවිත් මේක භාර ගත්තා. කොන්දේසි විරහිතව අපි එතුමට උදව් කළා. අපි අත උස්සන හැම පනතක්ම ජනප්‍රිය තීන්දු නෙමෙයි. අපි වැඩ කරන්නේ රටේ ආර්ථිකය ගොඩ ගන්න. ආපස්සට හැරිලා බලද්දි අපිට සතුටු වෙන්න පුළුවන්. එදා රුපියල් 3000 ට තෙල් ලීටරය ගත්තා. තෙල් ටික තිබුනේ නැහැ. ගෑස් පිපුරුණා. අද එහෙම නැහැ. ජනාධිපතිතුමා වසර 1 ½ ක් තුළ රට යම් මට්ටමකට ගෙනත් තිබෙනවා. මිනිස්සු සාමාන්‍ය මට්ටමට ඇවිත් තිබෙනවා. නමුත් අපි එළියට ඇවිත් නැහැ. තවත් ඉදිරියේදී රට මීට වඩා හොද මට්ටමට එද්දි මීට වඩා ප්‍රතිලාභ ජනතාවට ලැබේවි. මෙම වසර තුළ සංවර්ධන කටයුතු වලට මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා.