පක්ෂ ප්‍රතිසංවිධානය ඇතුළු අමාත්‍ය මණ්ඩල සංශෝධනය දක්වා වූ සිදුවීම සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශ සහ පසුව දන ගන්නට ලැබෙන කාරනා අතර පරස්පරයක් තිබෙන බවත් ඒ හේතුවෙන් අගමැති කියන ඇත්ත මොකක්ද? බොරුව මොකක්ද ? යන ප්‍රශ්නය දැඩිව තිබෙන බව එජාප පසුපෙළ සඳහන් කරයි.
ඒ අද (06) දිනයේ පැවති එජාප මැයි දින රැළියට සහභාගී නොවීම සම්බන්ධව අප කළ කරුණු විමසීමකට ප්‍රතිචාර දක්වමින්ය.
පසුගිය විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා පක්ෂයට දෙනුලැබූ පොරොන්දු මේ වන විට කිසියම් පිරිසක් ඔහුට අමතක කරවන බවක් පෙනෙන්නට ඇති බවත් එහෙයින් ඒ බව සිහිපත් කරදීමට තමන් ඇතුළු 30 කට ආසන්න මැති ඇමතිවරුන් පිරිසක් මැයි සමරුව වර්ජනය කළ බවද ඔහු පැවසීය.
එසේම අද වන විට අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළ ආකාරය ගැන ඇතැමුන් ලොකු කතා ප්‍රසිද්ධ වේදිකාවේ සඳහන් කර සිටියත් එය ජයග්‍රහණය කරන්නට අවංකව කැපවූයේ කවුද යන්න අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කිහිපදෙනෙකු දන්නා බවත් එහෙත් ඒ බයිපාස් කරන්නට කිහිපදෙනෙකු වෙර දරන බැවින් තමන් ඇතුළු පිරිසකට අනතුරු සංඥා නිකුත් කරන්න සිදුවූ බවද ඔහු පැවසීය.
රවී මැයි දින වර්ජනය සාධාරණයි
තවද රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාට අමාත්‍ය ධූරයක් ලබානොදීම අසාධාරණ බවත් එහිදීද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැවසූ ප්‍රකාශ සහ පසුව දැනගන්නට ලැබුණු ප්‍රකාශ අතර පරස්පරයක් ඇති බවද ඔහු පැවසීය.
ඒ සම්බන්ධව අප කළ කරුණු විමසීමේදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ," නායකතුමා රවී කරුණානායකට පොරොන්දුවක් දීලා තිබුණා ඇමතිකම දෙන්න. නමුත් පස්සේ කිව්වේ ජනාධිපතිවරයා අකමැතියි කියලා. නමුත් ඒ ගැන හොයලා බලනකොට නායකතුමා එහෙම යෝජනාවක් කරලා නැති බවයි ජනාධිපතිගේ පැත්තෙන් දැනගන්න ලැබුණේ. එක පාරට තනතුරු ලැබුණ කිහිපදෙනෙක් ෆෝර්ම් වෙලා කියන කතා අහලා ඉදිරිය ගැන තීන්දු ගන්න නරකයි. රවී කියන්නේ පක්ෂයේ අමාරුම අවස්ථාවේ බර ඇදපු නියම යුඑන්පී කාරයෙක්. ඒ වගේම තමයි තවත් පිරිසක් ඉන්නවා අගමැතිතුමා හිරවුණ හැම වෙලාවේම එයා වෙනුවෙන් වැඩ කරපු. අපි ලිබරල් පක්ෂයක් වුණාට සමහර අවස්ථාවලදී හැසිරෙන්නේ හරිම ගෝත්‍රික විදිහට. මේ ගෝත්‍රික කෑල්ල අපි අයින් කරගන්න ඕන. නැත්නම් පළාත් සභා විතරක් නෙවෙයි, නැවත ජනාධිපතිවරණයක් හෝ ජාතික මැතිවරණයක් ආවොත් නායකයින් ආනයනය කරන්න අපිට සිද්ධ වෙනවා. මේ යතාර්ථය තනතුරු ලැබීම එක්ක ඇතැම් අය අමතක කරලා, පක්ෂයටත් අමතක කරවන්න හදනවා. අපි පැහැදිළිව අහනවා, නායකතුමනි, පළාත් පාලන මැතිවරණය පරාජයවීමෙන් පස්සේ, කවුද ඔබේ අගමැතිකම ආරක්ෂා කර දුන්නේ? අන්න ඒ ප්‍රශ්නයට උත්තරය හෙව්වොත් නායකතුමා වගේම පක්ෂයටත් හෙට ජයග්‍රාහී ගමනක් ගැන හිතන්න පුළුවන්. නැත්නම් වෙනදේ ඉතා පැහැදිළියි." යනුවෙනි.

