මුදල් අමාත්‍යංශය සහ තම අමාත්‍යංශය යටතේ විශාල වැඩ කොටසක් සිදුකිරීමට නියමිත බවත් ඒ හරහා එජාප සාමජිකත්වයේ මෙන්ම සමස්ථ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
සමෘද්ධි අමාත්‍යංශය තම පාර්ශවයට ලැබී තිබීම හමුවේ සමෘද්ධි බැංකුව ඵලදායි ලෙස ජනතාවගේ සේවයට යොමුකරවීමේ වගකීම මුදල් අමාත්‍යංශයට පවරා ඇති බවත් ඒ හරහා සියළු ජනතාවට සාධාරණ සහ වගකීමෙන් යුතු විශාල සේවයක් සිදුකරනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති මැයි දින සමරු රැළිය අමතමින් ඔහු මේ බව පැවසීය.
මැයි දින සමරුවට එන සෙනඟ ගැන රනිල් අවිශ්වාසයක ඉඳලා
බලාපොරොත්තු වූවාටත් වඩා විශාල ජනකායක් එක්සත් ජාතික පක්‍ෂයේ මැයි රැළියට පැමිණීම පිළිබඳව තමන් සතුටට පත් වෙන බවත් එම ජනතාවට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට ඇතුලූ වීමට ඉඩකඩ නොමැතිකම නිසා පිටත රැඳී සිටින ජනතාවට තම කණගාටුව ප්‍රකාශ කරන බවත් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී පැවසීය.
මෙතරම් විශාල ජනකායක් අපේ මැයි දින රැළිය සඳහා සහභාගි වන බව දැන සිටියා නම් අප තෝරා ගන්නේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය නොවන බවත් ඒ බව දැන සිටියා නම් මැයි දින සමරු රැළිය සඳහා සුගතදාස එළිමහන් ක්‍රීඩාංගනය යොදාගන්නා බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
යහපාලනය ගැන විශ්වාසය තැබුවාට ජනතාවට ස්තුතියි
එක්සත් ජාතික පක්‍ෂයත්, යහපාලන ආණ්ඩුවත් පිළිබඳව පූර්ණ විශ්වාසය සහ බලාපොරොත්තු තබා සිටින ඔබ සියලූ දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. එම නිසා මෙම ශාලාවෙන් පිටත රැඳී සිටින හතර ගුණයක් පමණ වන ජනතාවගෙන්, වෘත්තිය සමිති සහ පක්‍ෂය වෙනුවෙන් මම නැවතත් සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ ඔබේ පැමිණීම පිළිබඳව මම මගේ ස්තුතිය පිරිනමනවා.
මැයි දිනය යනු කම්කරු ජනතාවගේ දිනයයි. එහි ඉතිහාසය පිළිබඳව නවීන් දිසානායක ඇමැතිතුමා එතුමාගේ කතාවේ දී සඳහන් කළා. මෙවර වෙසක් පොහොයත්, මැයි දිනයත් ආසන්න දිනවල යෙදී තිබූ නිසා මැයි දින සැමරුම් රැළි කල් දැමීමට අප කල්පනා කළා. අප පාසල් යන අවධියේත් මෙවැනි තත්ත්වයක් ඇති වූ අතර එවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා ද මැයි දින සැමරුම් උත්සව කල් දැමීමට කටයුතු කළා. නමුත් වෙනත් කණ්ඩායම් හෝ සංවිධානවල රැස්වීම් පැවැත්වීම තහනම් කළේ නැහැ.
හරින් ඔයාටත් ස්තුතියි !
මැයි දින උත්සවවලට විවිධ ආකාරයෙන් ජනතාව සහභාගි වෙනවා. ඇතැම් පිරිස් පෙළපාලි, තූර්යවාදක කණ්ඩායම්, නර්තන කණ්ඩායම් සහ සංදර්ශන රථ ආදිය සමග මැයි දින උත්සව සඳහා සහභාගි වනවා. මේ අතර ඇතැම් පිරිස් මත්පැන් පවා පානය කරමින් මැයි දින රැස්වීම් සඳහා සහභාගි වෙනවා. නමුත් මෙවර අප මැයි දින රැළිය පවත්වන්නේ මැයි පළමු වැනිදාට දින කිහිපයකට පසුවයි. එම නිසා ඒ ආකාරයේ මැයි දින රැළියක් පැවැත්වීමට අප කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට අපට අවශ්‍ය වුණේ කම්කරුවාට උපහාරයක් වන ආකාරයේ මැයි දින රැළියක් පැවැත්වීමටයි. එම නිසා මෙවැනි විශිෂ්ඨ සංවිධානයකින් යුතුව මැයි දින රැළිය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මම හරීන් ප්‍රනාන්දු මහතාට ස්තූතිවන්ත වෙනවා.
අළුතින් සිතන එකම පක්ෂය එජාපය
අප අද දිනයේ නියමාකාරයෙන් කම්කරුවාට ප්‍රණාමය පුදකර තිබෙනවා. කිසිවෙකුත් ඒ පිළිබඳව ගැටලූවක් ඇති කර ගත යුතු නැහැ. අප මෙවැනි මැයි දිනයක් සංවිධානය කළේ ඇයි දැයි බොහෝ දෙනා විමසනවා. ඒ සඳහා වන පිළිතුර ඉතා සරලයි. එනම්, ශ්‍රී ලංකා දේශපාලනයේ අලූතින් සිතන එකම පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය වීම ඊට පිළිතුරයි. ඒ සම්බන්ධයෙන් කිසිවෙකුට දෝෂාරෝපණය කළ නොහැකියි. දොස් පවරනවා නම් දොස් පැවරිය හැක්කේ, මෙම ස්ථානයට ඇතුලූ වීමට නොහැකිව පිටත රැඳී සිටින ජනතාවට පමණයි.
කම්කරු දිනය සැමරීමේ සැබෑ අයිතිය ඇත්තේ එජාපයට පමණයි
මේ රටේ කම්කරු දිනය සැමරීමේ සැබෑ අයිතිය ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයට පමණක් බව කිව යුතුයි. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග ආදී එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරුන් යටතේ මේ කම්කරු ප්‍රජාව විශාල ප්‍රමාණයකින් වර්ධනය වුණා. ඩී.එස්. සේනානායක මැතිතුමා අපේ රටට නිදහස ලබාදුන් පළමු නායකයායි. එතුමා නිදහස දිනා ගන්නා කාලයේ ශ්‍රී ලංකාවේ තිබුණේ කෘෂිකර්මික ආර්ථිකයක්. රටේ ජනතාවගෙන් බහුතරයක් ජීවත් වුණේ ග්‍රාමීය ප්‍රදේශවලයි. නමුත් පසුකාලීනව නිදහස් අධ්‍යාපනය ඔස්සේ තරුණ තරුණියන් අධ්‍යාපනය ලබා ගැනීමට යොමු වුණා. ඉන් පසුව ඔවුන් රැකියා අවස්ථා බලාපොරොත්තු වුණා.
සේවක සංඛ්‍යාවේ වර්ධනයක් ඇති වුණේ එක්සත් ජාතික පක්‍ෂ යුගයේ
1956 සිට පැවැති ආණ්ඩුවලට මේ රටේ කර්මාන්ත ඇති කිරීමට නොහැකි වුණා. ශ්‍රී ලංකාවේ පළමු කර්මාන්ත ශාලා කිහිපය ඇති කළේ එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේයි. ඉන් පසුව බලයට පැමිණි අනෙකුත් ආණ්ඩු කම්කරුවන් පිළිබඳව කෙතරම් කතා කළත් 1956 ත් 1977 ත් අතර කාලය තුළ රටේ කම්කරු ප්‍රජාවේ වර්ධනයක් සිදු වුණේ නැහැ. රටේ ආර්ථිකය විවෘත කරමින් අපනයන කර්මාන්ත ඇති කිරීමටත්, දේශීය කර්මාන්ත ආරම්භ කිරීමට ඇති සීමා ඉවත් කිරීමටත් අප තීරණය කළේ ඉන් පසුවයි. ඒ වගේම නව කර්මාන්ත සඳහා බදු සහන ලබාදීමටත් අප කටයුතු කළා. ඉන් පසුව රට තුළ විශාල වශයෙන් කර්මාන්ත ශාලා ඇති වුණා.
කර්මාන්ත ශාලා පමණක් නොව, වෙළෙඳ අංශය, සංචාරක කර්මාන්තය ආදියත් දියුණුවට පත් වුණා. ඒ හරහා රටේ සේවා අංශ දියුණු වුණා. අනතුරුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ධූර කාලයේත්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේ ධූරය කාලය තුළත් ශ්‍රී ලංකාවට තොරතුරු තාක්‍ෂණය ගෙන ඒමට හැකි වුණා. ඒ වගේම වරාය දියුණු කිරීමේ කටයුතු ද අප ඉටු කළා. ඒ අනුව වැටුප් ලබන සේවක සංඛ්‍යාවේ වර්ධනයක් ඇති වුණේ එක්සත් ජාතික පක්‍ෂ යුගයන්වල දී බව කිව යුතුයි.
පුද්ගලික අංශයේ සේවකයන් ශක්තිමත් කිරීමට හැකියාව ලැබුණා
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දළ දේශීය නිෂ්පාදනය තුළ කෘෂිකර්මාන්තයට වඩා වෙනත් අංශවලට ඉඩක් ලැබුණා. කර්මාන්ත, සේවා සහ වෙළෙඳ අංශයන් තුළ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය වුණා. ඒ වගේම අපනයන කර්මාන්තය ඇති කිරීමටත් අපට හැකියාව ලැබුණා. පුද්ගලික අංශයේ සේවකයන් ශක්තිමත් කිරීමට අපට හැකි වුණා. මහා භාරකාර අරමුදල ඇති කළා. නව කම්කරු නීති සම්පාදනය කළා. මේ සියලූ දේ සිදු කළේ එක්සත් ජාතික පක්‍ෂයයි. එම නිසා වෙන කාටවත් වඩා කම්කරු දිනය සැමරීමේ අයිතිය එක්සත් ජාතික පක්‍ෂය සතු බව කිව යුතුයි. අද බොහෝ දෙනා පෙළපාලි, උද්ඝෝෂණ සිදු කරන්නේ අප කර්මාන්ත ශාලා ඇති කර තිබෙන නිසයි. ඒ වගේම ගම්මානවල ඇඟළුම් කර්මාන්ත ශාලා 200 ක් ඇති කර තිබෙන නිසයි. රට පුරා හෝටල් ව්‍යාපෘති ආරම්භ කළ නිසයි.
කම්කරු ජනතාවට මධ්‍යම පන්තියට පිවිසීමේ දොරටු විවෘත කරන්න හැකි වුණා
වර්තමානයේ සෑම කම්කරුවෙකුගේම නිවසේ රූපවාහිනී යන්ත්‍රයක්, ශීතකරණයක් ආදී අවශ්‍ය උපකරණ බොහෝ දෑ තිබෙනවා. එසේ නම් අප කම්කරුවාගේ අතට මුදල් ලැබෙන ආකාරයට කටයුතු කර තිබෙනවා. ඔවුන්ට ආදායම් මාර්ග ඇති කර දී තිබෙනවා. ඒ අනුව පළමු වතාවට කම්කරු ජනතාවට මධ්‍යම පන්තියට පිවිසීමේ දොරටු විවෘත කරදීමට අපට හැකි වුණා.
අද කම්කරුවාට එම පහසුකම් අපි ලබා දී තිබෙනවා. කම්කරුවාගේ දරුවාට අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දී තිබෙනවා. ඔවුන් අද වෛද්‍ය පීඨ හෝ නීති පීඨවල අධ්‍යාපනය ලබනවා. මේ සියලූ දේ ඉටු කළේ වෙනත් කිසිදු දේශපාලන පක්‍ෂයක් නොව, එක්සත් ජාතික පක්‍ෂය බව කිව යුතුයි.
1994 වසරේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩු පැවැතියා. නමුත් එම ආණ්ඩු හරහා රටේ ඇති වූ දියුණුව කුමක්ද? රටේ කර්මාන්තකරණයක් ඇති වුණාද? ඔවුන් යටතේ ඇති වූ එක් විශාල කර්මාන්ත කලාපයක් පෙන්විය හැකි ද? අප ඇති කළ සීතාවක වෙළෙඳ කලාපයෙන් පසුව එක් වෙළෙඳ කලාපයක් හෝ ඇති කිරීමට ඔවුන් කටයුතු කළේ නැහැ.
ඔවුන්ගේ පාලනය කාලය තුළ රට වෙනුවෙන් කළේ කුමක්ද? නමුත් අවසානයේ ඔවුන් රටේ විශාල ඒකාධිපති පාලනයක් ඇති කළ බව නම් අපි දන්නවා. ඒ මහින්ද රාජපක්‍ෂ රෙජීමයයි.
එක්සත් ජාතික පක්‍ෂය රාජපක්‍ෂ රෙජීමයට බය වුණේ නැහැ
අප සියලූ දෙනා එකතු වී ඒ මහින්ද රාජපක්‍ෂ රෙජීමය පරාජය කිරීමට කටයුතු කළා. එක්සත් ජාතික පක්‍ෂය රාජපක්‍ෂ රෙජීමයට බිය වුණේ නැහැ. රාජපක්‍ෂ රෙජීමයට විරුද්ධ, ප්‍රජාතන්ත්‍රවාදයට කැමති සියලූම දෙනා සමග කටයුතු කිරීම සදහා ඔබ මට අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව අප සියලූ දෙනා එකතු වුණා. ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළා. එම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් අප ඉදිරියට ගියා. නමුත් ඉන් පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවශ්‍ය බහුතරය ලබා ගැනීමට අපට නොහැකි වුණා. එම නිසා අපි ජාතික ආණ්ඩුවක් ඇති කර ගත්තා. ඒ තුළ විවිධ අදහස් ඇති අය සිටියත් අප ඉදිරියට යනවා.
ජනාධිපතිවරණයේ දී පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් විවිධ මත පළ වී තිබුණා. එහි එක් අන්තයක ජනතා විමුක්ති පෙරමුණත්, තවත් අන්තයක ද්‍රවිඩ ජාතික සන්ධානය සහ වෘත්තීය සමිතිත් පෙනී සිටියා. නමුත් එක්සත් ජාතික පක්‍ෂය මේ සියලූ දෙනා එකතු කර ගනිමින් පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළා. ඉන් පසුව අප ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. එම ආණ්ඩුව විවිධ අදහස් ඇති බව අප පිළිගන්නවා. නමුත් අප පළමුවෙන් ක්‍රියා කළේ රාජපක්‍ෂ බිය තුරන් කිරීම සඳහායි. සුදු වෑන් තර්ජන ඉවත් කරමින් ජනතාවට මාධ්‍ය නිදහස ලබාදීමට අප කටයුතු කළා. අද මට මාධ්‍යයෙන් පහර ගසන ආකාරයට එදා මහින්ද රාජපක්‍ෂට පහර ගැසුවා නම් ඔවුන් සියලූ දෙනා අද සිටින්නේ කනත්තේ බව කිව යුතුයි. කෙසේ වුවත් මාධ්‍ය මගින් සෑම දිනකම අපට පහර ගැසීමත් මම සුභවාදීව දකිනවා. එවිට ආණ්ඩුවේ වස්දොස් පහව යනවා. නමුත් ප්‍රමාණය ඉක්මවා මට පහර ගැසුවොත් එම මාධ්‍ය ආයතනය සතු ජනතා ආකර්ෂණය දිනෙන් දින අඩු වන බවත් කිව යුතුයි.
අපේ ජනාධිපතිතුමා අද ලෝකෙ වටේ යනවා : කිසි ප්‍රශ්නයක් නැහැ
අද රටේ ජනතාවට බියක් සැකක් නොමැතිව ජීවත් වීමට හැකියාව ලැබී තිබෙනවා. අපේ ජනාධිපතිතුමා අද ලොව පුරා සංචාරය කරනවා. ලෝකයේ රටවල් අද අපව පිළිගන්නා තත්ත්වයකට පැමිණ තිබෙනවා. කිසිඳු ජාත්‍යන්තර රටක් අපට විරෝධය පළ කරන්නේ නැහැ. ඔවුන් ශ්‍රී ලංකාව විශේෂ කොට සලකනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ පිළිගන්නවා යැයි පැවසීමට අධික වියදමක් දැරීමට සිදුවන “චෝගම්” වැනි උත්සව පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැහැ. එය ඔප්පු විය යුත්තේ අප ජාත්‍යන්තරයට යන විටයි. අප එය ඉටු කර තිබෙනවා. අද අපට ලෝකයේ සහයෝගය ලැබෙනවා.
අද ශ්‍රී ලංකාව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිය විට කිසිඳු රටක් විරෝධය දක්වන්නේ නැහැ. අද ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නගන්නේ සරත් වීරසේකර සහ ලන්ඩනයේ සිටින ද්‍රවිඩ සංවිධානය පමණයි. වෙන කිසිවෙකුත් ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ නැහැ. ලෝකයේ කොන් වී තිබූ ශ්‍රී ලංකාව අප අද එම තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. රට තුළ නිසි පාලනයක් ඇති කර තිබෙනවා. නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා.
ලොකුම ප්‍රශ්නය : රාජපක්ෂගේ ණය
අපේ රට මුහුණ පා සිටින විශාලතම ගැටලූව නම් රාජපක්‍ෂ පාලන සමයේ ලබාගත් අති විශාල ණය කන්දරාවයි. ලබාගත් ණය සඳහා පොලිය ගෙවීමටවත් එදා මුදල් තිබුණේ නැහැ. 2016 – 17 කාලය තුළ දී අප ණය ගෙවීමට හැකි පරිදි රටේ ආර්ථිකය සකස් කළා. දැන් අපට අඩුම වශයෙන් රටේ ආදායමින් ණය ගෙවීමටවත් හැකි තත්ත්වයක් ලැබී තිබෙනවා. රටේ ආර්ථිකය කඩා වැටුණා නම් ඔබ ජීවත් වන්නේ කෙසේද? රට තුළට කිසිඳු භාණ්ඩයක් ආනයනය කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ජංගම දුරකථන, ගෘහ භාණ්ඩ, ආහාර මේ කිසිඳු නිෂ්පාදනයක් රටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එවිට අප ජීවත් වන්නේ කෙසේද? නමුත් ඉතා අපහසුවෙන් අප රටේ ආර්ථිකය නැවත ගොඩනැගුවා. ඇතැම් අවස්ථාවල ආදායම් ඉහළ දැමීම සඳහා බදු වැඩි කිරීමට අපට සිදු වුණා.
නමුත් ණය ගෙවීම, ලෝකයේ පිළිගැනීමක් ලැබීම, අනාගත පරම්පරාව ණය බරින් නිදහස් කිරීම යන අරමුණු ඇතිව අප ආර්ථිකයත්, රටත් සංවර්ධනය කළා. ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවතත් ලබා ගත්තා. ඒ හරහා ඇඟලූම් කර්මාන්තයත්, ධීවර කර්මාන්තයත් නැවත දියුණු කිරීමේ හැකියාව අපට ලැබී තිබෙනවා. ලෝකයේ අපනයන වෙළෙඳපොළට පිවිසීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙය ආරම්භයක් පමණයි.
මෙතරම් වැඩ කොටසක් සිදුකර තිබිය දී ඇතැමුන් අපේ ආණ්ඩුව රට වෙනුවෙන් කරන්නේ මොනවාදැයි විමසනවා. අප රට වෙනුවෙන් සිදු කර ඇති මෙම විශාල කාර්ය භාරය ගොඩනැගිල්ලක් ඉදිකරනවා මෙන් ජනතාවට නොපෙනන බව අප දන්නවා. එය රාජපක්‍ෂ ආණ්ඩුව සමයේ අඩක් නිමකළ ගොඩනැගිලි මෙන් පෙනෙන්නේ නැහැ. තවමත් වැඩ කටයුතු අවසන් කිරීමට නොහැකි වූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල මෙන් ජනතාවට නොපෙනෙන බව අප දන්නවා. නමුත් අපේ කාර්යභාරය වූයේ මේ විශාල ණය උගුලෙන් රට බේරා ගෙන ඉදිරියට යාමයි. අප ආයෝජකයන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය ගොඩනැගුවා.
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජන ප්‍රමාණය 2017 වාර්තා වුණා
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජන ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා වුණා. ඒ වගේම වැඩිම අපනයන ප්‍රමාණයත් පසුගිය වසරේ වාර්තා වුණා. මෙම වසරේ දී එය තවත් වර්ධනය කර ගත හැකියි. අපට දෝෂාරෝපණ එල්ල වන බව දන්නවා. නමුත් මෙම ස්ථානයට පැමිණියේ මේ රටේ අහිංසක තරුණ තරුණියන්ට අනාගතයක් නිර්මාණය කර දීමටයි. ඔවුන්ට අනාගතයක් ඇති කර දිය යුතුයි. ඔවුන්ව රැවටීමෙන් ප්‍රයෝජනයක් නැහැ.
හම්බන්තොට වරාය ඔවුන් ඉදිකළත් එහි ණය පියවා ගැනීමට ක්‍රමවේදයක් තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව යටතේ ණය ගෙවූ පසු දැන් බොරුවට දෝෂාරෝපණය කරනවා. ඔවුන්ට හම්බ කිරීමට හැකියාවක් නැති නිසා ඔවුන්ම ඉදි කළ හම්බන්තොට වරායට දැන් චෝදනා කරනවා. කොළඹවරාය නගර ව්‍යාපෘතියේ දී ඔවුන් සියලූම ඉඩම් චීනයට සින්නක්කරව විකුණා දැම්මා. නමුත් අපේ ආණ්ඩුව යටතේ එම ඉඩම් 99 අවුරුද්දකට බදු පදනම යටතේ පමණක් ලබා දීමට කටයුතු කළා. වරාය නගරයට අනාගතයක් ඇති වී තිබෙන්නේ අපේ ආණ්ඩුව යටතේ බව එම වරාය නගර ව්‍යාපෘතිය බාර සමාගම දැන් පවසනවා. අමාරු කාලවල දී එම ප්‍රශ්නවලට මුහුණ දීමටත්, ඒ වෙනුවෙන් ජනතාවගෙන් දෝෂාරෝපණයට ලක්වීමටත් සිදු වෙනවා.
ස්වාභාවික ආපදා නිසා ඇතිවූ දුෂ්කරතා ගැන සමාව දෙන්න
2017 වසරේ ඉහළ ආර්ථික වර්ධනයක් අප බලාපොරොත්තු වුණා. නමුත්, එම වසරේ දී විශාල ගංවතුරකට, නියගයකට සහ කුණු කන්ද නායයාමේ ඛේදවාචකයටත් මුහුණදීමට අපට සිදුවුණා. බොහෝ අය සිතුවේ මෙම ස්වභාවික ව්‍යවසන හේතුවෙන් රටේ ආර්ථිකය අඩපන වන බවයි. නමුත් එම අපහසු අවස්ථාවල අපේ රජය අනුගමනය කළ පියවර නිසා ආර්ථිකය බිඳ වැටීමකට ලක් නොවී පවත්වා ගැනීමට අපට හැකි වුණා. ගංවතුර, නියගය හේතුවෙන් රටේ කෘෂි නිෂ්පාදන පහත වැටුණා. බඩු මිල ඉහළ ගියා. ඒ වගේම පොහොර හිඟයක් ද ඇති වුණා. මෙම කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවෙන් මම කණගාටුව ප්‍රකාශ කරනවා. මෙම ගැටලූ නිසා එක්සත් ජාතික පාක්‍ෂිකයාට ගම් මට්ටමේ දී චෝදනා එල්ල වූ බවත් අපි දන්නවා. ඒ සම්බන්ධයෙන් මම සමාව ඉල්ලා සිටිනවා. කෙසේ හෝ අවසානයේ දී ඒ සියල්ලට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණ තිබෙනවා.
අපට ඒ ශක්තිය හා විශ්වාසය තිබෙනවා. මහින්ද රාජපක්‍ෂට 2014 වසරේ තමා ගත් ණය වලට පොලිය ගෙවීමටවත් මුදල් තිබුණේ නැහැ. ඔහු ලබාගත් ණයවලට වැඩිම පොලී ප්‍රමාණයක් ගෙවීමට තිබෙන්නේ 2018 – 2019 කාලවල දීයි. ඒ සඳහා අප සූදානම් බවත් අප පැවසිය යුතුයි. හම්බන්තොට වරායේ සියලූ ගෙවීම් අප ගෙවා අවසන්. මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අප ආරම්භ කර තිබෙනවා.
70 වන සංවත්සරයේ දී ලබාදුන් පොරොන්දුව ඉටු කර තිබෙනවා
පළාත් පාලන මැතිවරණය පැවතුණේ පසුගිය පෙබරවාරි මාසයේදීයි. එම කාලය වන විට බඩු මිල ඉහළ යෑම, පොහොර හිගයක් ඇති වීම ආදී කාරණා නිසා අපට පරාජයට පත්වන්නට සිදුවුණා. නමුත් එම මැතිවරණය පසුගිය මැයි මාසයේ දී පමණ පැවැත්වුණා නම් එක්සත් ජාතික පක්‍ෂය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරනවා. එය අපට අවාසනාවන්ත කාලයක් වුණා. සියලූම පළාත් පාලන ආයතනවල මැතිවරණ එක් දිනක දී පැවැත්වීමට අපට අවශ්‍ය වුණා. ඒ වගේම අප එක්සත් ජාතික පාක්‍ෂිකයාගේ ඇතැම් බලාපොරොත්තු ඉටු කර තිබුණේ නැහැ. දේශපාලන පළිගැනීම්, රැකියා ලබා දීමේ ගැටලූ ආදිය තවමත් තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතනවල අපේ මන්ත්‍රීවරුන් දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීමට අපට සිදුව තිබෙනවා.
තවත් මාස 18 ක් ඉදිරියට යාම සඳහා අපට ඉතිරිව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුබිම මම සැකසුවා. දැන් ඉතිරිව තිබෙන්නේ ඉදිරියට යාමයි. පසුගිය 70 වන සංවත්සරයේ දී මා ලබාදුන් පොරොන්දුව ඉටු කර තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්‍ෂයට නව නායක පරපුරක් ඇති කිරීමේ පොරොන්දුවයි.
2020 දී එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් යටතේ ඉටු කිරීමට නොහැකි වූ සියලූ දේ කරනවා
ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පක්‍ෂය වෙනුවෙන් නායකයන් තිදෙනෙකු පුහුණු කළා. ඒ සියලූ දෙනා රටට අහිමි වුණා. එම නායකයන් තිදෙනාට අමතරව මමත් කටයුතු කරමින් සිටියා. එය සරලව කියනවා නම් වාහනයක අමතර රෝදයක් වැනියි. නමුත් අවසානයේ මම පක්‍ෂයට නායකත්වයට පත් වුණා. එවිට මා පිටුපසින් කිසිවෙකුත් සිටියේ නැහැ. එක්සත් ජාතික පක්‍ෂයට සිදුවන්නේ කුමක්දැයි 1994 දී ඇතැම් අය විමසුවා. මගෙන් පසුව පක්‍ෂය ඉදිරියට යාමක් නොමැති බව කියා සිටියා. පක්‍ෂයේ ප්‍රධාන පෙළේ නායකයන් පමණක් නොව, දිස්ත්‍රික් සහ ග්‍රාමීය මට්ටමේ නායකයන් ද පක්‍ෂයට අහිමි වුණා. බිම් මට්ටමේ නායකයාගේ සිට පක්‍ෂ නායකයා දක්වා සියලූ දෙනා ඝාතනය වුණා. මෙම ස්ථානයේ සිටින බොහෝ පිරිසකගේ ඥාතීන් ද එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා. ඔවුන් වෙනුවෙන් අවුරුදු 20 ක් තුළ ඉටු කිරීමට නොහැකි වූ සේවාවක් තිබෙනවා. හවුල් ආණ්ඩුව යටතේ කඩා වැටුණු ආර්ථිකය නැවත නගා සිටුවීමට අපිට හැකි වුණා. කෙසේ නමුත් 2020 දී එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් යටතේ අපට ඉටු කිරීමට නොහැකි වූ සියලූ දේ ඔබ වෙනුවෙන් ඉටු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
මට අවශ්‍ය වන්නේ වසර 5 ක් පමණ බලයේ පවතින එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නොවෙයි. අපට අවශ්‍ය වන්නේ වසර 20 – 30 ක් පමණ පවතින එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක්. එම ආණ්ඩුව නායකත්වය මට ඉදිරියටත් දැරීමට නොහැකියි. එක්සත් ජාතික පක්‍ෂය සඳහා නව නායකත්ව මණ්ඩලයක් අපි ඇති කළේ එම නිසයි. 2017 දී පළාත් පාලන මැතිවරණයෙන් පසු මෙම වෙනස ඇති කිරීමට මම බලාපොරොත්තු වුණත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබුණේ 2018 වසරේදීයි. මේ වන විට අප නව නායකයන් පිරිසක් තෝරා ගෙන තිබෙනවා. ඉදිරියේ දී තවත් පිරිසක් තෝරා ගැනීමට නියමිතයි. එක්සත් ජාතික පක්‍ෂය සම්පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කොට ඉදිරි වසර 20 පුරාම බලයේ සිටීමට හැකි එක්සත් ජාතික පක්‍ෂයක් අප නිර්මාණය කළ යුතුයි.
මලික්, කබීර් - දෙන්නටමත් ස්තුතියි
අප එම විශාල වැඩ කටයුත්ත අප ආරම්භ කර තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු සභාපති මලික් සමරවික්‍රම මැතිතුමාටත්, හිටපු මහ ලේකම් කබීර් හෂීම් මැතිතුමාටත් ඔවුන්ගේ සේවාව වෙනුවෙන් අපේ ප්‍රණාමය පුද කරනවා. අසනීප තත්ත්වයෙන් පසු වන බැවින් කබීර් හෂීම් මැතිතුමාට මෙම මැයි දින රැළියට සහභාගි නොවන ලෙස මා ඊයේ එතුමාට උපදෙස් ලබා දුන්නා.
අපි සියලූ දෙනා එකට එක්වී වැඩ කළ යුතුයි. කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට අප දක්‍ෂ විය යුතුයි. එක්සත් ජාතික පක්‍ෂය එසේ කණ්ඩායමක් ලෙස වැඩ කටයුතු කරනවා නම් වසර 20 ක් බලයේ සිටීම අපහසු කටයුත්තක් නොවෙයි. නමුත් තනි තනිව කටයුතු කරනවා නම් අපේ පක්‍ෂයට එම ගමන යාමට නොහැකියි. එම නිසා අප පළමුවෙන්ම කණ්ඩායමක් ලෙස වැඩ කිරීම අප තේරුම්ගත යුතුයි. පක්‍ෂය ජයග්‍රහණය කරවන මේ ශාලාවේ සිටින ඔබ සියලූ දෙනාටම බාරයි.
සෑම ගමකම පුංචි සිරිකොතක්
මීට පෙර පැවැති ආකාරයට සෑම ගමකම පුංචි සිරිකොතක් බිහි කිරීම මගේ අරමුණයි. 1976 දී මා කැළණිය ආසනයේ සංවිධායකවරයා ලෙස එම ආසනය පුරා යද්දී ගමේ ඇතැම් ගෙවල් හැදින්වූයේ පුංචි සිරිකොත ලෙසයි. වර්තමානය වන විට නවීන තාක්‍ෂණය සහ ජංගම දුරකථන නිසා එය තවත් පහසු වී තිබෙනවා. ජංගම දුරකථනය හරහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත කාර්යාලය සමගින් සම්බන්ධ වීමේ හැකියාව ඔබට තිබෙනවා. නමුත් ඒ කාලයේ පක්‍ෂ සංවිධාන වැඩ කටයුතු සදහා තිබුණේ “සියරට” පුවත්පත පමණයි. එසේ නම් අද සිට “පුංචි සිරිකොත” නිර්මාණය කිරීමේ වැඩකටයුත්ත ආරම්භ කිරීමට කැප වෙමු.
මුදල් අමාත්‍යංශය යටතේ විශාල වැඩ කොටසක්
සමෘද්ධි අමාත්‍යාංශය බාර ගැනීමට අපට හැකියාව ලැබුණා. එම අමාත්‍යාංශයේ මීට පෙර පැවැති වැරදි නිවැරදි කිරීමට අපට සිදුව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නම් නව ක්‍රමවේදයක් වුවත් ඇති කළ හැකියි. සමෘද්ධි අමාත්‍යාංශයේ සම්පූර්ණ සංඛ්‍යා ලේඛන ඊයේ දිනයේ දී මට ලැබුණා. මාස 12 ක කාලයක් සඳහා සමෘද්ධි අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 25 ක මුදලක් වෙන් කර තිබෙනවා. නමුත් පළමු මාස තුන තුළ දී ඔවුන් බිලියන 13 ක් වියදම් කර තිබෙනවා. ඒ අනුව මාස තුනක් ඇතුළත දී මුලූ මුදලින් 53% ක් වියදම් කර තිබෙනවා. මාස තුනක් ගත වන විට වියදම් කළ යුත්තේ 25% ක් පමණයි. එසේ නම් අනෙක් මුදල්වලට සිදුවූයේ කුමක්ද? එම නිසා මුදල් අමාත්‍යාංශයටත්, මගේ අමාත්‍යාංශයටත් මම එහි කටයුතු බාර දුන්නා.
සමෘද්ධි බැංකුව කිසිවෙකුගේත් අධීක්‍ෂණයට ලක් නොවූ ආයතනයක්. සේවක අර්ථ සාධක අරමුදල, මහා භාරකාර අරමුදල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසි යටතේ පාලනය වෙනවා. නමුත් සමෘද්ධි බැංකුව පාලනය කිරීම සඳහා කිසිඳු රෙගුලාසියක් ඇත්තේ නැහැ. එම නිසා මේ පිළිබඳව සොයා බලා එය මුදල් අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතට ගන්නා ලෙස මම උපදෙස් ලබාදුන්නා. රටේ අනෙකුත් සියලූම බැංකු මහ බැංකුව යටතේ පාලනය වුණත් සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතේ පාලනය නොවීම විශාල ගැටලූවක්. එම නිසා ඉදිරියේ දී සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නා බව මම මේ අවස්ථාවේ ඔබට පවසනවා. ඉදිරියේ දී මේ වැඩ කටයුතු සාධාරණ ලෙස සිදු කරන බවත් පැවසිය යුතුයි.
අප උපාධිධාරීන්ට රැකියා ලබාදීම ආරම්භ කරනවා. ඒ සම්බන්ධයෙන් මම අමාත්‍යාංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ වගේම උපාධිධාරී නොවන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් පිරිසටත් රැකියා ලබා දීමට කටයුතු කරනවා.
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා රැකියා අවශ්‍යතාවයෙන් පෙළෙනවා. නමුත් ඒ සියලූ දෙනාට රජයේ රැකියා ලබාදීමට හැකියාවක් ඇත්තේ නැහැ. එම නිසා ගෙවීමක් සහිත පුහුණුවක් ලබා දෙමින් එම පුහුණුව හරහා ඍජුවම ඔවුන් පෞද්ගලික අංශයේ රැකියාවලට යොමු කිරීමේ වැඩසටහනක් ද අප ආරම්භ කරනවා. මුදල් අමාත්‍යාංශය හරහා ස්වයං රැකියා ලබා දෙන වැඩසටහනක් ද අප ආරම්භ කර තිබෙනවා. මෙවැනි වැඩසටහන් ගණනාවක් අප ආරම්භ කිරීමට නියමිතයි. අපේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ සහයෝගයෙන් මෙම වැඩ කටයුතු ඉක්මනින් අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම වසරේ මැයි මාසයේ අවසන් භාගය වන විට එක්සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරුන්ගේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබා ගන්නවා. ඉන් පසුව ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරමින් අනෙක් අමාත්‍යාංශවලත් ප්‍රගතිය ලබා ගන්නවා.
මේ සියලූ දේ අප සිදු කරන්නේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහායි. අපට එය ජයග්‍රහණය කළ හැකියි. පොහොට්ටුව යනු දේශපාලන පක්‍ෂයක් නොවන බව ඔබ අවබෝධ කර ගත යුතුයි. ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ලැබූ පරාජය පිළිගෙන ඒ සඳහා හේතු සොයා ගනිමින් අප ඉදිරියට යා යුතුයි. 2014 වසරේ දී අපේර්ල් මාසයේ දී එක්සත් ජාතික පක්‍ෂය සිටියේ මීටත් වඩා පහළ මට්ටමකයි. නමුත් 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් එක්සත් ජාතික පක්‍ෂයට රටේ අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමට හැකි වෙතැයි කිසිවෙකුත් සිතුවේ නැහැ. අපි ඒ වෙනුවෙන් වෙහෙස වී වැඩ කළා. මෙම ආණ්ඩුවට ඉදිරියට මාස 18 කාලයක් ඉතිරි වී තිබෙනවා. මේ රටේ දේශපාලනික වශයෙන් අනාගතයක් තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයට පමණයි. අනාගත නායකයන් නම් කර තිබෙන වෙනත් කිසිම දේශපාලනික පක්‍ෂයක් ශ්‍රී ලංකාවේ නැහැ. වසර 20 – 25 ක් පමණ ඉදිරියට යා හැකි නායකත්ව මණ්ඩලයක් අපට සිටිනවා. රට ස්ථාවර භාවයක් කරා ගෙන යාමේ හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයට පමණයි. එම නිසා ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සියලූ දෙනාගේ එකමුතුවෙන් සිදුකරමු යැයි මම අවසාන වශයෙන් සිදු කරනවා.

