දුෂිතයින්, මිනීමරුවන්ගේ නඩු දිනපතා ඇසීමේ පනත ලබන 09 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඉන් පසු දිනපතා නඩු ඇසීමෙන් වරදකරුවන් නීතිය හමුවට ගෙන එන්න හැකියාව ලැබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති එජාප මැයි දින සමරු රැළිය අමතමින්ය.
ඒ අනුව ජනතාව බලාපොරොත්තු වන්නේ දුෂිතයින්ට සහ මිනීමරුවන්ට නීතිය ඉදිරියේ දඩුවම් ලබාදිම පිළිබදව බවත් ඒ පොරොන්දුව ඉටුකිරීම හරහා 2020 දී විශිෂ්ට ජයක් ලබන්න එජාපයට ඉඩ ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
එළඹෙන 2018 වසර එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ වසර බවත් වත්මන් රජය බලයට පත්කරන්න මැදිහත්වූ ඒ සියළු පාර්ශවයන්ට රාජපක්ෂ පාලන සමයේ දේශපාලන පළිගැනීම් වල දී නැති වූ උසස්වීම්, වැටුප්, අග්‍රාමාත්‍යවරයා අතින් ලබාදෙන බවද සඳහන් කළ අමාත්‍යවරයා ගොවි ණය කපා හරිමින් ඡ්‍යෙෂ්ට පුරවැසියන්ගේ දීමනා වැඩි කරමින් වත්මන් ආණ්ඩුව සහන සළසා තිබෙන බවත් 2015 වසරේදී දුෂිත රජය පෙරළා දමමින් යහපාලන රජය අපි ස්ථාපිත කිරීමේදී ලබාදුන් පොරොන්දු රැසක් ඉටු කර තිබෙන බවත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
ජනතාව බලාපොරොත්තු වන්නේ දුෂිතයින්ට සහ මිනීමරුවන්ට නීතිය ඉදිරියේ දඩුවම් ලබාදිම පිළිබදවයි. යහපාලන රජය විසින් සිදු කර ඇති එක් වරදක් බවට සැළකෙන්නේ මහ බැංකු මුල්‍ය වංචාවයි. පසුගිය රජය සමයේ සිදු වූ විශාල විශාල මුල්‍ය වංචා වලට සාපේක්ෂව එය එකක් පමණයි. පසුගිය රජය සමයේ ටොන් ගණන් මුල්‍ය වංචා, සොරකම් සිදු වුනා. මෙම බැදුම්කර ගණුදෙනුව පිළිබදව මැතිවරණ වල දී අපේම අය කථා කරන්න පටන් ගත්තා. එම නිසයි පළාත් පාලන මැතිවරණයේ දී පරාජයට පත් වුනේ. තවත් 16 දෙනෙක් එම වංචා ගැන අදහස් පළ කළා. ඔවුන් 16 දෙනාම දැන් රජයෙන් ඉවත්ව සිටිනවා. ඔවුන් රැදී ඉන්න තමයි බලාපොරොත්තු වුනේ. නමුත් දැඩි විරෝධය හමුවේ ඔවුන්ට යන්න සිදු වුනා.”
එස්.බී ගේ වැඩ ඉවරයි : දැන් සමෘද්ධියත් අපේ
“වත්මන් රජය විසින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළා. සමෘද්ධි දීමනාව වැඩි කළා. එහෙම දීමනා ලබාගත් අයත් මැතිවරණයේ දී පොහොට්ටුයට ඡන්දය දුන්නා. ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයින්ට සමෘද්ධි දීමනාව නොලැබී තිබුනා. මොකද එම විෂය බාරව සිටියේ එස්.බී දිසානායක ඇමැතිතුමා. දැන් අපිට සමෘද්ධි අමාත්‍යවරයෙක් ඉන්නවා. මම එම ඇමැතිවරයාට කිවුවා මෙම වසර අවසන් වීමට ප්‍රථම සමෘද්ධිය නොලැබුනු අපේ පක්ෂයේ අයටත් ලබාදෙන්න කියලා. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉවත් වූ ඇමැතිවරු 16 දෙනා යළි ආණ්ඩුවේ ඉන්න හැදුවා. ඔවුන්ගේ ලැඡ්ජා නහර කපලා තිබෙන්නේ. මම තරයේ ප්‍රකාශ කළා එම 16 දෙනා ඉවත් කළ යුතු බව. දේශපාලන පළීගැනීම් වලට ලක්වූවන්ට සහන සැළසීම පිළිබදව ද සාකච්ඡා කර තිබෙනවා.
ආර්ථිකය කඩා වැටී නැහැ
“සමහරු කියනවා ආර්ථීකය කඩා වැටිලා කියලා. නමුත් ඡේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාත් බලයට පත් වී වසර ගණනාවකට පසු තමයි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළේ. 2017 වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 11.4 ක් වෙනවා. ඇමරිකාවට, යුරෝපයට අපේ භාණ්ඩ අපනයනය කර තිබෙනවා. වැඩිම භාණ්ඩ අපනයනය කර ඇත්තේ එම වසරේදීයි. ධීවර අපනයන සියයට 40 කින් වැඩි වී තිබෙනවා. නිමි ඇදුම් සියයට 10 කට වැඩි ප්‍රමාණයක් අපනයනය කර තිබෙනවා. මේ වනවිට විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 1.9 දක්වා වැඩි වී තිබෙනවා. විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 9.9 දක්වා වැඩී වී තිබෙනවා. සෘණ ආර්ෂිකයක් තිබූ ශ්‍රී ලංකාව යළි ස්ථාවර කිරීමට රජයට හැකියාව ලැබී තිබෙනවා. විශ්වාසභංග ඉදිරිපත් නොකර දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම තුලින් රට තවත් සංවර්ධනය කරන්න පුලුවන්.”
ඉදිරි මැතිවරණ ජයගන්න පුළුවන්
“අද මිනිස්සු අතේ මුදල් නැහැ කියනවා. නමුත් අවුරුදු සමයේ දී ලංකා බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් පත් වලින් පමණක් රුපියල් මිලියන 54 ක භාණ්ඩ ලබාගෙන තිබෙනවා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා යටතේ ගම්උදා 72 ක වැඩ අවසන් කර තිබෙනවා. දුප්පත් අයට නිවාස 6000 ක් ඉදිකිරීම සදහා රුපියල් බිලියන 17.5 ක මුදලක් වැය කර තිබෙනවා. මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීම සදහා රුපියල් බිලියන 200 ක මුදලක් වැය කර තිබෙනවා. මාර්ග සංවර්ධනයත් අඛණ්ඩව සිදු වෙනවා. සමහරු කියනවා රාජපක්ෂ සමයේ දී වැඩිම සංවර්ධනයක් සිදු වුනා කියලා. නමුත් රාජපක්ෂ සමයේ දී අධිවේගී මාර්ග කිලෝමීටර් 160 ක් පමණයි ආරම්භ කළේ. වත්මන් රජය යටතේ අධිවේගී මාර්ග කිලෝමීටර් 195 ක් සැදීම ආරම්භ කර තිබෙනවා. ඌව, උතුර සහ මධ්‍යම පළාත්වල ග්‍රාමිය මාර්ග කිලෝමීටර් 6000 ක් ඩොලර් මිලියන 900 ක මුදලකින් සංවර්ධනය කරනවා. ඉතිරි පළාත්වල කිලෝමීර් 9000 ක ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට නියමිතයි. ඇහැට කණට පෙනෙන්න සංවර්ධනයක් නැහැ කියලා චෝදනා කරනවා. නමුත් මම කියන්න කැමැතියි සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. එම ව්‍යාපෘති පිළිබදව තොරතුරු ජනතාවට අපේ රජය ලබාදෙන්නේ නැහැ. ඒ පිළිබදව ජනතාව දැනුවත් කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ද ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කර තිබෙනවා. රජය එක මතයක් යටතේ, එක නායකයෙක් යටතේ කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය ධනපති පක්ෂයක් බවට චෝදනා කළත් දුප්පත් ජනතාව වෙනුවෙන් සේවය කරනවා. ඉදිරි කාලයේ දී රැකියා ලබාදෙමින්, සමෘද්ධිය ලබාදෙමින් කටයුතු කිරීම තුලින් මැතිවරණ ජයග්‍රහණ ලබාගන්න පුලුවන්.”

