හෙට (08) ආරම්භ වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේදී තම කණ්ඩායම විපක්‍ෂයට යන බවත් විපක්‍ෂයට ගොස් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂය සමග සන්ධානගතව කටයුතු කිරීමට තමන් ඇතුළු 16 දෙනාගේ කණ්ඩායම ස්ථිර අදහසක සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න සඳහන් කරයි.
රත්තපුරයේ පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවට යෝජනාවක් 15 වැනිදා ගෙන එන බවත් එම යෝජනාව ජයග්‍රහණය කළහොත් ශ්‍රීලනිප සහ සන්ධානයේ මහ ලේකම්වරුන් දෙදෙනා ඇතුළු කිහිපදෙනෙකුට එක්සත් ජාතික පක්ෂයට එක්වන්නට සිදුවනු ඇති බවද ඔහු පැවසීය.
එසේම ඉදිරියේදී ජනාධිපතිවරයාවීම හැර අග්‍රාමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට මහින්ද රාජපක්‍ෂට කිසිඳු බාධාවක් නොමැති බවත් තමන් ඇතුළු කණ්ඩායමටද ඔහු යටතේ සේවය කිරීමේ ගැටළුවක් නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.
තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහාම ඉදිරියේ බලය ලබාගැනීමට නොහැකි නම් ඒ සඳහා මධ්‍යස්ථ ස්ථානයක් තිබිය යුතු බවත් එම මධ්‍යස්ථ ස්ථානයට එකතුව රාජපක්ෂ පාලනයක් ගෙන ඒමට කටයුතු කිරීමට ශ්‍රීලනිපය සූදානම් බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

