දුප්පත්ම මිනිසුන්ට සහනයක් වීමට විශේෂයෙන් සැකසූ බැංකුවක් මහ බංකුව යටතට පත්වීමේ අවශ්‍යතාව අද වනවිට දේශපාලනඥයින්ට අයථා පරිහණය කළ නොහැකි සමෘද්ධි තැම්පතු සදහා අත තැබීම බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියේ දී සමෘද්ධි බැංකු ‘ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පත් කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මේ බව සඳහන් කරන අතර සමෘද්ධි බැංකු ‘මහ බැංකුව යටතට‘ ගැනීම අන්ත දුප්පතුන්ගේ තැම්පත් මුදල් මංකොල්ලයකට මග පෑදීමක් බවත් දුප්පතාගේ විශේෂ බැංකුව, නියාමනයට ‘කළමනාකරණ මණ්ඩලය‘ තුළ ඉඩක් ඇති බවත් එහි සඳහන් කර ඇත.
එහි වැඩිදුරටත් දක්වා ඇති ආකාරයට ලංකාවේ සමෘද්ධි බැංකු 1074 ක් තිබෙන අතර මහා සංගම් 331 කි. රටේ දුප්පත් ජනතාවගේ රුපියල් බිලියන 140 ක තැම්පත් මුදලක් එම බැංකුව සතුව තිබේ.
පනත අනුව 2/3ක් නැතුව මොකුත් බෑ
ඒ අනුව මහ බැංකුව යටතට ‘සමෘද්ධි බැංකු රැගෙන යාම තැම්පතු ලාභීන්ගේ තැම්පතු විනාශ කිරීමේ ක්‍රියාවලියක ආරම්භය විය හැකිවා පමණක් නොව අද බලපැවැත්වෙන නීතිය අනුව කළ නොහැකි කටයුත්තක් බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.
2013 අංක 1 දරණ දිවි නැගුම පනත 35 වන වගන්තියේ "1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන සහ 2011 අංක 42 දරණ මුල්‍ය ව්‍යාපාර පනතේ විධිවිධාන මේ පනතේ විධිවිධාන යටතේ පිහිටුවනු ලැබූ බැංකු සහ බැංකු සමිති සම්බන්ධයෙන් අදාළ කරගනු නොලැබිය යුතුය" යනුවෙන් දැක්වෙන බවත් ඒ හමුවේ අගමැතිවරයාගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් 2013 අංක 1 දරණ දිවි නැගුම පනත සංශෝධනය කළ යුතුව ඇති අතර ඒ සදහා පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයක් පමණක් නොව පළාත් සභාවන් හි කැමැත්ත ද ලැබිය යුතු බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
ශිරාණී බණ්ඩාරනායක ගෙදර ගියෙත් : බැසිල්ගේ මේ වගේම ගේමක් නිසා
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය ධුරයෙන් ඉවත් කිරීම සදහා එදා මහින්ද රාජපක්ෂ රජය තීරණය කරන්නේ මේ පනත සංශෝධනයට පාර්ලිමේන්තුවේ 2/3 ට අමතරව පළාත් සබාවේ අනුමැතිය ද අවශ්‍ය බවට තීන්දු කිරීම නිසා බවත් එදා, එජාපය ද, ජවිපෙ ද, සිවිල් සංවිධාන ද, කීවේ ‘බැසිල් රාජපක්ෂට සමෘද්ධි තැම්පතු නොදුන් නිසා අගවිනිසුරුතුමියට තනතුර නැති වූ අතර දැන් යහපාලන රජය සමෘද්ධි තැම්පත් සදහා අත තැබීමට සුදානම් වන බවද එහි සඳහන් කර ඇත.
2013 අංක 01 දිවි නැගුම පනත මගින් මේ සියළු බැංකු බැංකු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කොට ඇති බැවින් දේශපාලන අවශ්‍යතා මත මුදල් ලබා ගැනීම අපහසුව ඇති නමුත් 2014 දී බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ සමෘද්ධි බැංකු මුදල් මිලියන 300 ක් පමණ රු. 2500 බැගින් ප්‍රතිලාභීන් වෙත ලබාදුන් බවද එහි සඳහන් කර ඇත.
සමෘද්ධියට තට්ටුකරන්න ආව ගොඩක් අය මට්ටු වුනා
එසේම දින 100 රජය යටතේ මේ අමාත්‍ය ධූරය දැරූ සජිත් ප්‍රේමදාස මහතා ද, කිසිදු පුද්ගල හෝ වත්කම් ඇපයක් නොමැතිව මේ අරමුදල් පරිහරණයට කටයුතු කළ බවත් මෙම තත්වය නිසා, ලබා දුන් රු. 2500 ක මුදල ණය කරුවන්ගෙන් නැවත අය කිරීම මේ වන විට ඇරඹී ඇති බවත් කැෆේ නිවේදනයේ සඳහන්ව ඇත.
තවද දේශපාලන අවශ්‍යතාව මත සමෘද්ධි තැම්පතු පරිහණයට විවිධ ආණ්ඩු දැරු උත්සාහයන් ව්‍යර්ථ වූ බවත් අද වන විට මේ පිළිබදව දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නඩු ගණනාවක් ද පැවරී ඇති අතර ඒ නිසාම සමෘද්ධි තැම්පතු අද ලංකාවේ ඉතිරි වී ඇති විශාලතම මුදල් සංචිය බවට පත්ව ඇති බවද සඳහන් කර ඇත.
එසේම නඩු නොවැටෙන ආකාරයට සමෘද්ධි තැම්පතු දේශපාලන ව්‍යාපෘතීන්ට යොදවා ගැනීම සදහා කරන කුමන හෝ උත්සාහයක් පරාජය කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
රනිල් හිතුවට කරන්න බෑ: තුනෙන් දෙකේ බලය ඕන, ඒක නම් දෙන්නේ නෑ - එස්.බී
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සඳහන් කර සිටින්නේ සමෘද්ධි බැංකු ව්‍යාපාරය මහ බැංකුව යටතට පවරා ගන්නට නම් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජන්ද බලයක් අවශ්‍ය බවයි.
එහෙත් ඒ කටයුත්ත සඳහා ආණ්ඩුවට කිසිසේත් ඉඩක් නොදෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.
තවද අදාළ පනත සංශෝධනය කිරීමට රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ අයවැය යෝජනාවක් ලෙස ගෙන ආ බවත් කිසිඳු සංශෝධනයක් නොමැතිව අග්‍රාමාත්‍යවරයා සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට ගන්නා බව කියන්නේ අගමැති රනිල් පනත ගැන හරියට නොදන්නා නිසා බවද ඔහු සඳහන් කර ඇත.

