අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

අපරාධ නඩු කඩිනමින් විභාගයට ගෙන අවසන් කිරීමේ අපේක්ෂාවෙන් අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත මැයි 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එය   බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමට රජයට හැකියාවක් තිබෙන බවත්  අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.

අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ  (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා

2015 වසරේ යහපාලන රජය බලයට පත් වුයේ මනුෂ්‍ය ඝාතන, මුල්‍ය වංචා, පිළිබදව විධිමත් පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශ කරමින්. නමුත් එම පරීක්ෂණ ප්‍රමාද වීම හේතුවෙන් සමාජය තුළ විවේචන ඇති වුනා. ඇතැම් අය ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය සමඟ ඩීල් ඒකක් දමා පරීක්ෂණ යටපත් කළ බවයි. මුල්‍ය වංචා පරීක්ෂණ සෙවීම සදහා මුල්‍ය අපරාධ කොට්ඨාසය ස්ථාපිත කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මනුෂ්‍ය ඝාතන පරීක්ෂණ සිදු කරනවා. දිර්ඝ කාලීනව සිදු කළ පරික්ෂණ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. ඇතැම් නඩු විභාග වුවත්, ඇතැම් නඩු විභාගවීම මෙතෙක් ආරම්භ වී නැහැ. ඇතැම් මනුෂ්‍ය ඝාතන පරික්ෂණ සාක්ෂි සටහන් පවා විනාශ කර තිබුනා. ඝාතනවල ඇටකටු පවා අතුරුදන් කර තිබුනා. මිග් යානා ගණූදෙනුවේ පරික්ෂණ වාර්තා වෙනස් කර තිබුනා. මෙම අකටයුතුකම් සියල්ල යථා තත්ත්වයට පත් කර ගනිමින් පරීක්ෂණ පැවැත්වීමට නිලධාරීන්ට සිදු වුනා. අධිකරණයේ මන්දගාමීභාවයක් ද පැවැතුනා. ඇතැම් නඩු තීන්දු අත්අඩංගුවට ගැනීමට බැරිද පුළුවන් ද කියා ලබා දී තිබුනා. සමහර නඩු විභාග මාස 08 ක් දක්වා කල් දැමුනා. නීතිඥවරු ප්‍රකාශ කළ පරිදි ඇතැම් තීන්දු නීතියට අදාළ නොවන පරිදි ලබා දී තිබුනා. එම නිසා විශේෂ අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කළා. එය පසුගිය කාලයේ මුලාවක් වී තිබුනේ හිටපු අධිකරණ අමාත්‍යවරුන්ගේ ක්‍රියාකළාපය හේතුවෙන්. අමාත්‍යවරුන්ට කරන්න බැරි වූ දෙය වත්මන් අධිකරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරාළ මහත්මිය විසින් සිදු කළා. ඒ සියලු දෙනාගේම එකගතාවය ද ලබා ගනිමින්. මෙම පනත් කෙටුම්පත හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.”

“මෙම පනතට එරෙහිව පෙත්සම් 07 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුනා. එහිදි ලබාදුන් තීන්දුව පිළිබදව ප්‍රශ්ණයක් නැහැ. අගවිනිසුරු වරයාගේ අවසන් එකගතාවය මත නඩු විභාග වෙනවා. පසුගිය මැතිවරණ වල දී සහ රැස්වීම් වල දී මම මනුෂ්‍ය ඝාතන වංචා සහ දුෂණ වලට නඩු පැවැරීම පිළිබදව දිර්ඝව කථා කළා. එය නිවැරදි ලෙස ඉටු නොවන අවස්ථා වල දී මම අසරණ වුවත්, ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට මම සෑම විටම උත්සාහ කළා. අධිකරණ පද්ධතියේ තිබූ මන්දගාමීභාවය මේ වන විට අවසන් වී තිබෙනවා. මෙම පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත කර ගනිමින් දිනපතා නඩු අහනවා. කල්මැරීමක් සිදු වන්නේ නැහැ. අධිකරණ 03 ක් ස්ථාපිත කරනවා. නීතිය සහ සාධාරණය යටතේ අගතියට පත් වූ සියලුම පුද්ගලයින්ට සහන ලබා දෙනවා. වත්මන් රජයට එල්ල වී ඇති ප්‍රමුඛ චෝදනාවක් වන්නේ බැදුම්කර චෝදනාවයි. මාධ්‍ය මගින් ද බැදුම්කර කොමිසමේ කටයුතු දෛනිකව වාර්තා කළා. එම කොමිසමේ වාර්තාවලට අනුව සිදුව ඇති අලාභය රුපියල් බිලියන 11 ක්. සමාගමේ මුදල් වලින් බිලියන 12 ක් රදවාගෙන තිබෙනවා. නමුත් 2007 සිට 2014 දක්වා සිදුව ඇති මුල්‍ය වංචාවල ප්‍රමාණය රුපියල් ත්‍රිලියන 04 ක් වෙනවා.”

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“ජනාධිපති කාර්ය මණෟඩල ප්‍රධානියා ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයායි. හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ද විවිධ චෝදනා ලබමින් අධිකරණ නියෝග මත නිදහස් වී තිබෙනවා. නමුත් ඒ කාලයේ ඔහුට කිසිම ප්‍රශ්ණයක් වුනේ නැහැ. නමුත් වත්මන් කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ජනාධිපතිවරයා නියෝග කළේ සේවයෙන් ඉවත් කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි. මට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා පිළිබදව වැඩිදුර තොරතුරු නොදන්නා බවයි. මෙම ලේකම්වරයා එම තනතුරට පත් කරන බව මම දැනගත්තේ නම් ජනාධිපතිවරයාට දැනුම් දෙනවා පත්කිරීම අහෝසි කරන ලෙස. මොකද නැගෙනහිර කොළඹ මුලික රෝහලේ ඉඩම් ප්‍රශ්ණයක් පිළිබදව මෙම පුද්ගලයා සමග සාකච්ඡා කරන විට ඔහු රජය පැත්ත නොව පෞද්ගලික අංශයේ පැත්ත ගැනීම නිසා මට සැකයක් ඇති වී තිබුනා. අල්ලස් සිද්ධියෙන් පසු නව සංස්ථාවකට පත් කළ සභාපතිවරයා මටත් විරුද්ධව චෝදනා කරමින් අල්ලස් කොමිසමට ගිය පුද්ගලයෙක්.”

මෙම අවස්ථාවට අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ  ද එක්ව සිටියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න