'දුමින්ද වරදකරු කිරීමේ චේතනාවෙන් ම දුන් තීන්දුවක්' !

'දුමින්ද වරදකරු කිරීමේ චේතනාවෙන් ම දුන් තීන්දුවක්' !

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේදී අතිශයින්ම වැදගත් සාක්ෂි දෙක ඉදිරිපත් නොකිරීම මඟින් නීතිපතිවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නොමඟ යවා ඇති බවත් එබැවින් නඩු තීන්දුව සහමුලින්ම දෝෂ සහිත බවත් එකී නඩු තීන්දුවට එරෙහි වූ විශේෂ පෙත්සම් විභාගයේදී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ ඊයේ (8දා) කියා සිටියේය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා හා විජිත් කේ. මලල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම විශේෂ පෙත්සම් විභාගය පැවැත්වේ.

නීතිපතිවරයා විවිධ බලපෑම් මත හිතාමතාම මෙම ප්‍රබලතම වූත් අතිශයින්ම වැදගත් වූත් සාක්ෂිකරුවන් දෙදෙනාගේ සාක්ෂි නොකැඳවා සිටියේ නඩුව කණපිට පෙරළා නිවැරැදිකරුවන් වැරැදිකරුවන් කොට වැරැදිකරුවන් නිවැරැදිකරුවන් කිරීමේ පවිටු චේතනාවෙන් බවත් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා එහිදී පැවසුහ.

නීත්‍යනුකූල තීන්දුවක් නොවන බව 

එහෙයින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බව ජනාධිපති නීතීඥවරුන් ඊයේ (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කර සිටියේය.

ඒ සම්බන්ධයෙන් ගොනුකළ අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරුන් පෙන්වා දුන්නේ අදාළ තීන්දුව දුමින්ද සිල්වා මහතා වරදකරු කිරීමේ චේතනාවෙන්ම ලබා දුන් නඩු තීන්දුවක් බවත් එහි  අඩුපාඩු රැසක් ද ඇති බවත්ය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ගොනු කළ අභියාචනය පළමුවරට විභාගයට ගැනුණේ මාර්තු 27 වැනිදායි.

ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය. එහිදී කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා සඳහන් කළේ කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුවේ අඩුපාඩු රැසක් ඇති බවයි.

'රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින්'

1525778055 2936105 hirunews Duminda Silva

එම නඩු තීන්දුව එක් විනිසුරුවරියක් සකස් කර ඇත්තේ දුමින්ද සිල්වා මහතා වැරදිකරු කිරීමේ චේතනාවෙන් බව ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේදැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් විනිසුරුවරිය සිය තීන්දුව ලබාදී ඇති බවයි. ගිනි අවි භාවිත කළ බවට දුමින්ද සිල්වා මහතාට චෝදනා ගොනු කර තිබූ අතර ඒ සඳහා කිසිදු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූ බව ජනාධිපති නීතීඥවරයාගේ මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය. අනෙක් චෝදනා සම්බන්ධයෙන්ද අදාළ නොවන සාක්ෂි ඉදිරිපත් වූ බව ප්‍රකාශ කළ ජනාධිපති නීතීඥවරයා පැවසුවේ එම සාක්ෂිවල පරස්පරතා හා ඌණතා 62 ක් නඩු විභාගයේදී සලකුණු කළ බවයි. තීන්දුව ලබාදීමේදී ඒවා සැලකිල්ලට ගෙන එහි වාසිය දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වයට ලබාදිය යුතු බවත් එය නොසලකා හැර ඇති බව ජනාධිපති නීතීඥවරයා පැවසිය.

'සාවද්‍යව නිර්මාණය කරන ලද සිද්ධි හා සාක්ෂි මත පදනම් වෙමින්'

 ඊට අමතරව ජනාධිපති නීතීඥවරයා තර්කානුකූලව ඔප්පු කළේ දුමින්ද සිල්වා මහතා වරදකරු කිරීම සඳහා ව්‍යාජ සිද්ධි නිර්මාණය කර ඇති බවයි. ඊට අමතරව දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදුණු සිද්ධිය භාරත ලක්ෂ්මන් පාර්ශ්වය විසින් ආරම්භ කර තිබුණද තීන්දුව ලබාදීමේදී එය නොසලකා හැර ඇති බව ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති නීතීඥවරයා තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ  සාවද්‍යව නිර්මාණය කරන ලද සිද්ධි හා සාක්ෂි මත පදනම් වෙමින් දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු හෙවත් විත්ති වාචික නොසලකා හරිමින් මහාධිකරණයේ නඩු විභාගය සිදුවී ඇති බවයි.

'සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් නොලැබුනේ නැහැ'

ඔහු පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා ගොනු කළ මෙම නඩුවේදී සිය සේවාදායකයාට සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් නොලැබුනු බවයි.

එම නිසා නීතියට පටහැනිව දඩුවම් දෙමින් ලබා දුන් නඩු තීන්දුව අහෝසි කර සියලු චෝදනාවලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අභියාචනය අද යළිත් විභාගයට ගැනුණේ තුන්වන දිනටය. එහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ද සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව නීත්‍යනුකූල නොවන බවයි.

එහි අඩුපාඩු කරුණු 10 ක් ඔස්සේ පෙන්වා දුන් ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේ සාක්ෂි හෝ කරුණු මත නොවල දුමින්ද සිල්වා මහතා ජනප්‍රිය දේශපාලන චරිතයක්වීම මත පදනම් වෙමින් නඩු තීන්දුව ලබාදී ඇති බවයි.

නඩු තීන්දුව ලක්ෂ වාරයක් කියවූවද දුමින්ද සිල්වා මහතා වරදකරුවෙකු කළේ මන්දැයි සොයාගත නොහැකි බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේය.
ඔහු පැවසුවේ දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා ගෙතූ බොරු සාක්ෂිවල ලුහුඬුතා හා පරස්පරතා නඩු විභාගයේදී ලකුණු කළ බවයි.

'සටහන් කළ සාක්ෂි පරස්පරතා රැසක් සැලකිල්ලට ගෙන නැහැ'

කෙසේ වෙතත් ඒවා සැලකිල්ලට නොගැනීම පිළිබඳව හේතු නොදක්වා ඒක පාර්ශ්වික නඩු තීන්දුවක් ලබාදී ඇති බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේ මහාධිකරණයේ සාක්ෂි සටහන් උපුටා දක්වමින්.

ඔහු පැවසුවේ ගිනි අවියක් ළඟ තබාගැනීමේ වරදටද මහාධිකරණය දඬුවම් ලබාදුන්නද ඒ සඳහා කිසිඳු සාක්ෂියක් නොමැති බවයි. එම නිසා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු අදාළ වරදට දඬුවම් දිය නොහැකි බව නඩු තීන්දුවේම සඳහන් කර ඇති බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේය. ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේ මහාධිකරණ නඩු විභාගය සඳහා අගවිනිසුරුවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළේ එක් එක් විනිසුරුවරයාගේ විනිශ්චය දැනගැනීමේ අරමුණින් වුවත් ඊට අනුගත නොවී විනිසුරුවරුන් කටයුතු කර ඇති බවයි. එමනිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වරදකරුකළ තීන්දුව සැබවින්ම නියම නඩු තීන්දුවක් නොවන බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේය.

අභියාචනය වැඩිදුර විභාගය හෙට  දිනයේදී යලි කැඳවීමට නියමිතය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න