සිංහල මාධ්‍යවේදියකුට උතුරේදී හරසර (වීඩියෝ)

සිංහල මාධ්‍යවේදියකුට උතුරේදී හරසර (වීඩියෝ)

දශක දෙකකට ඉහතදී ජීවිත ගමන නිමා කළ සිංහල මාධ්‍යවේදියකු සිහිපත් කොට දෙමළ මාධ්‍ය වේදීන් විසින් උතුරේ සමරුවක් පවත්වා තිබේ.

හමුදා මර්දනයකට යටවී හිඳීම ප්‍රතික්ෂේප කරමින් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින දෙමළ ජන ජීවිතය ඉංග්‍රීසියෙන් පලකළ සැටඩේ රිවිව් සති අන්ත පුවත්පතේ බර ඉසිලූ ගාමිණි නවරත්න සහ ඒ ජේ කනගරත්නම් යාපනය මාධ්‍ය සමාජය විසින් අනුස්මරණය කරන ලද්දේ පසුගිය සතියේය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන් පරමේශ්වරන් විසින් යාපනය කලා භවනේ පැවති සමරුව හඳුන්වන ලද්දේ “ඓතිහාසික ණයක් ආපසු ගෙවීමක්” ලෙසිනි.

රැකියාවත්, ජීවිතයත් සාපේක්ෂ වශයෙන් සුරක්ෂිත කොළඹ හැරදමා ගාමිණී නවරත්න යාපනයට ගියේ ජේ ආර් ජයවර්ධනගේ රාජ්‍ය මර්දනය මරණීය යතාර්ථයක් බව පසක් කරගත් සිය ප්‍රාණප්‍රිය මිතුරු සුබ්‍රමනියම් සිවනායගම් කතුකමත්, සිරිලකත් හැර පලා යද්දී තනිවූ සැටඩේ රිවිව් පත්‍රයටය.

යාපනය වාර්තා කරමින්, මාධ්‍ය නිදහස වෙනුවෙන් ප්‍රායෝගිකවම සටන් වැදුනු නවරත්නයන් ආණ්ඩුවටත්, සිංහල අන්තවාදීන්ටත් මහත්ම හිසරදයක් විය.

“මගේම ජනයා මාව හඳුන්වන්නේ ද්‍රෝහියෙක් වශයෙනු,” යි ඔහු 1984 දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට කීවේය. “නමුත් මම මෙහි රැඳී ඉන්නේ පාලම් හැදීමටයි, අන්‍යෝන්‍ය අවබෝධය ගෙන ඒමටයි”.

ඉන්දු ලංකා ගිවිසුම දෙස සුබවාදීව බැලූ ගාමිණී නවරත්නයන් ඊට එරෙහිව කැරළි ගැසූ ජනතා විමුක්ති පෙරමුණ ජයවර්ධන ආණ්ඩුවෙන් මර්දනය කෙරෙන විට එය දැඩි ලෙස විවේචනය කළේ  “මර්දනය දකුණට මාරුවෙයි” යන හිසින් යුත් මුල් පුවතකිනි.
කෙසේ වෙතත්, ඉන්දීය හමුදාව උතුරේ මර්දනය ජනමාධ්‍ය වෙතද විහිදන විට දකුණ බලා එන්නට බලකෙරුනු ගාමිණී නවරත්නයෝ ඊළඟ අවුරුද්දේ දිවි හැර ගියහ.

JDS වෙබ් අඩවියට ලියන ලද සමරු ලිපියකින් රෝහිත භාෂණ අබේවර්ධන විසින් ගාමිණී නවරත්න සම්භාවනාවට පත් කර ඇත්තේ “මිනිස් මාංශ බුදීමෙහි ලොල්ව, ක්ෂුධා ගින්නෙන් ඇවිළෙන කේසර සිංහයන් සහ මහසෝන් අවතාර ගහණ සමයක සදානුස්මරණීය වූ පවර මිනිස් මූලාදර්ශයක්,” ලෙසිනි.

(radiogagana)

සබැඳි පුවත් :ගාමිණී නවරත්න: යුක්තිකාමී සිංහලයකුගේ අනභිනන්දිත චරිතාපදානය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න