භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්වී මරණ දඩුවම් නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු තමන් එම දඬුවමින් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනාව වැඩිදුර විභාගය එළඹෙන 10 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දුකර ඇත.
ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන නලින් පෙරේරා සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (08) එම පෙත්සම කැඳවූ අවස්ථාවේය.
ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවක් මත තමන්ට මරණීය දණ්ඩනය පැනවීම නීතියට පටහැනි බවත් ඒ හේතුවෙන් හේතුවෙන් එම දඬුවම් අහෝසි කර සියලු චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන මෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පාර්ශවය සිය අභියාචනයෙන් ඉල්ලා තිබුණි.
එසේම විත්තිකාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මෙහිදී කියා සිටියේ කොළඹ මහාධිකරණය විසින් ලබාදී ඇති මෙම නඩු තීන්දු නියමාකාරයෙන් ලබා දුන් එකක් නොවන බවත් එබැවින් විත්තිකරුවන්ට එරෙහිව ලබාදුන් නඩු තීන්දුව අහෝසි කරන ලෙසත්ය.

