ජනාධිපතිවරයා 2020 දී දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව සඳහන් කලත් 2020 න් පසුව ජනාධිපතිවරයාට තවදුරටත් සහය දෙනවාද නැද්ද යන්න දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න (ශ්‍රීලනිප 16 කණ්ඩායම) සඳහන් කර ඇත.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර ඉදිරියේදී තම කණ්ඩායම සාකච්ඡා කර ස්ථාවරයකට එළැබෙන්නේ යයිද සඳහන් කර ඇත.
එසේම ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂ සමඟ සන්ධාන ගත වී වැඩ කිරීමට සූදානම් බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත. මේ අතර ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම ජනාධිපතිවරයාව දේශපාලනිකව කොටුකිරීමේ රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත්තුවක් ගෙන කටයුතු කරන බවට විශ්වාසවන්ත තොරතුරු ලැබී තිබෙන බවයි.
ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු ජනාධිපතිවරයාට සමීප දේශපාලන නායකයින් ඔහු වෙතින් ඈත් කිරීම එහි එක් අදියරක් බවත් පසුව පක්ෂයේ බලය නැවත රාජපක්ෂවරුන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීමට බලපෑම් කිරීම ඒ තුළ සිදුවීමට නියමිත බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.
එසේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවීම සම්බන්ධව ශ්‍රීලනිප ජ්‍යොෂ්ඨයින් රැසක් ඔහු සමඟ ඊර්ෂ්‍යාවෙන් සිටින බවත් ඇමති වරප්‍රසාද හේතුවෙන් ඔවුන් පළමුව ආණ්ඩුවට එක්ව කටයුතු කළත් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලැබූ පළමු පසුබෑමෙන් ඔවුන් ජනාධිපතිවරයා සේම පක්ෂයද අර්බුදයට ඇද දැමු බවත් එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
එසේම මේ පිරිස් පළාත් සභා මැතිවරණය එනතුරු කල්මරමින් සිටින්නේ පක්ෂය එහිදීද පරාජයට පත්කිරීමේ අපේක්ෂාවෙන් බවත් මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතුව ඇති බවද එම ආරංචිමාර්ග අප සමඟ අදහස් දක්වමින් අවධාරණය කර සිටියේය.

