ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන දෙදෙනා රුපියල් කෝටි 10 ක අල්ලසක් ඉල්ලීම සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කළ ඉන්දීය ජාතිකයාගේ කාර්යාලයට පැමිණි එල්ටීටීඊ සංවිධානයේ බුද්ධි අංශයේ සාමාජිකයෙකු බව පැවසෙන පුද්ගලයෙකු අදාළ නඩුව සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇතැයි වාර්තා වෙයි.
මේ බව අද (09) අනාවරණය වුයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එම අල්ලස් නඩුව කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ කරුණු දැක්වීමේදීය.
එම තොරතුරු විමසීම පරීක්ෂණවලට එල්ල කෙරුණු බලපෑමක් විය හැකි බැවින් පැමිණිලිකරු ඒ සම්බන්ධව කුරුඳුවත්ත පොලීසියට සහ අල්ලස් කොමිසමට දැනුම් දී ඇති බවද එහිදී අල්ලස් කොමිසමේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇත.
එසේම නඩුවට අදාළ ලිපි ලේඛන කිහිපයක් ජනාධිපති කාර්යාලයෙන් සහ රාජ්‍ය දැව සංස්ථාවෙන් ඉල්ලා ඇති නමුත් මෙතෙක් එම ලිපි ලේඛන ලැබී නොමැති බවත් එබැවින් වැඩිදුර විමර්ශන සඳහා කාලය ලබාදෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දී ඇත.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකාර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන දෙදෙනා ලබන 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබූ අතර පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අල්ලස් කොමිසමටද නියෝග කර සිටියේය.
ඉන්දීය ජාතික ව්‍යාපාරිකයාගෙන් රුපියල් කෝටි 10 ක අල්ලසක් ඉල්ලා ඉන් කෝටි 02 ක අල්ලස් අත්තිකාරමක් ගනිමින් සිටියදී පසුගිය මැයි මස 03 වනදා කොළඹ පිහිටි ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයකදී සැකකරුවන් දෙදෙනාව අල්ලස් කොමිසමේ විමර්ශන කණ්ඩායමක් අත්අඩංගුවට ගනුලැබූ අතර ඒ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතී.

