ගමේ සංවර්ධනයට මහා පරිමාණයේ ආයෝජනයක්
රුපියල් බිලියන 30කට අධික ප්‍රතිපාදන සමඟ ග්‍රාමීය ප්‍රදේශ වල කඩිනම් සංවර්ධනයක් සිදුකිරීම සඳහා ගම්පෙරළිය නමින් කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේ ඊයේ (10) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වන අතර ගම්පෙරළිය ව්‍යාපෘතිය එළඹෙන අගෝස්තු මාසයේ ස්ථිර වශයෙන්ම ආරම්භ කරන බවද එහිදී පැවසීය.
ගමයි, පන්සලයි වැවයි පාරයි එකට සංවර්ධනය කිරීමේ අපේක්ෂාවක්
මෙම ගම්පෙරළිය කඩිනම් සංවර්ධන ජාතික වැඩසටහන යටතේ සෑම ගමකම මාර්ග පද්ධතිය ඇතුළු අතිශය වැදගත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සෑම ගමකම හරිත උද්‍යානයක් සකස් කිරීම, ආගමික සිද්ධස්ථාන සංවර්ධනය, කුඩා වැව් ප්‍රතිසංස්කරණය, සෑම ගමක් සඳහාම පුස්තකාලයක් ලබාදීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් සිදුකිරීමට අපේක්ෂිත බවද අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර සිටියි.
ග්‍රාමීය මාර්ග පද්ධතියේ පුළුල් සංවර්ධනයක්
මෙහිදී ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු සඳහන් කළ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අධිවේගී මාර්ග අහ මහා මාර්ග පද්ධතිය සංවර්ධනය කර ඇතත් ගම් ආශ්‍රිත මාර්ග පද්ධති සංවර්ධනය කිරීම මඟහැරී ඇති බැවින් ඒ වෙනුවෙන් මීට පෙර රජයන් වෙන් නොකළ තරම් විශාල ප්‍රතිපාදනයක් වෙන් කර එම අබලන් මාර්ග පද්ධති කඩිනම් සංවර්ධනයකට ලක්කළ යුතුව ඇති බවය.
එසේම සෑම ගමකම හරිත උද්‍යානයක් පිහිටුවා ඊට නොමිලේ wi - fi පහසුකම් ලබාදීම, ආගමික වතාවත් ඇතුළු පොදු කටයුතු සඳහා ගොඩනැගිල්ලක් මෙන්ම ශරීර සුවතා මධ්‍යස්ථානයක් ඇතුළු පහසුකම් ඊට අනියුක්ත කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
දුෂ්කර සහ අබලන් සිද්ධස්ථාන කඩිනම් සංවර්ධනයකට
තවද ලංකාවේ ආගමික සිද්ධස්ථාන සැළකීමේදී දේශපාලනය කරන සහ බලවතුන් ආශ්‍රය කරන සිද්ධස්ථාන පමණක් සංවර්ධනය වී ඇති බවත් එහෙත් ගමේ ජනතාවට ආගමික සේවා සපයමින් සිද්ධස්ථාන රැසක් ඉතා දුෂ්කර තත්ත්වයේ පවත්වාගෙන යාම සැළකිල්ලට ගෙන එම සංවර්ධනය නොවූ සියලු ආගමික සිද්ධස්ථාන මුළුමනින්ම සංවර්ධනය කිරීමටද බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය. ඒ යටතේ බෞද්ධ සිද්ධස්ථාන පමණක් නොව පල්ලි සහ කෝවිල් ද සංවර්ධනය වනු ඇති බව අමාත්‍යවරයා පවසයි.
ග්‍රාමීය ජනතාවගේ ජල අවශ්‍යතා සපුරණ කුඩා වැව් 20000ක් මුළුමනින්ම සංවර්ධනය කරයි තවද ගම් ආශ්‍රිතව කඩිනම් සංවර්ධනයකට ලක්කළ යුතු කුඩා වැව් 20000 ක් පමණ ඇති බවත් එම වැව් සියල්ල පාහේ ගම්පෙරළිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
එසේම ග්‍රාමීයව වෙසෙන සියළු දෙනාගේ මනස සංවර්ධනය කරගැනීම වෙනුවෙන් සෑම ගමකටම පුස්තකාලයක් ලබාදෙන බවත් ඔහු පැවසීය.
මෙම ගම්පෙරළිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් දිවයිනපුරා ආරම්භ කිරීමට අපේක්ෂිත බවත් ඒ කාරනා ඉතා ඉක්මනින් රටට දැනුම්දෙන බවද ඔහු සඳහන් කර සිටියේය.

