CID විමර්ශනයකට ජනාධිපති මැදිහත් වෙයි (වීඩියෝ)

CID විමර්ශනයකට ජනාධිපති මැදිහත් වෙයි (වීඩියෝ)

රහස් පොලිසිය විසින් පවත්වන්නට ගිය පරීක්ෂණයක් සඳහා මාධ්‍යවේදියකු සාක්ෂියට කැඳවීම ජනාධිපතිවරයා මැදිහත් වී නවත්වා තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පල කරන ලද සමාජ මාධ්‍ය ජාල පණිවිඩයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කැඳවා තිබූ බීබීසී මාධ්‍යවේදී අසාම් අමීන් ට පසුදාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් දැනුම් දී ඇත්තේ පැමිණීමේ අවශ්‍යතාවක් නැති බවයි.

ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සමච්චලයට ලක් කරමින් ඔහුගේ නිල ට්විටර් ගිණුමක පළවූ  සඳහනක් බීබීසී මාධ්‍යවේදියා විසින් තමන්ගේම සටහනක් යොදමින් නැවත බෙදා හදා ගෙන තිබුනි.

එසේ බෙදාගෙන තිබුනේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා අලුතින් තවත් පනත් සම්මත කරගැනීමේ අපේක්ෂාව පළකරමින් ජනාධිපතිවරයා සිය නමින් යුත් නිල ට්විටර් ගිණුමේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් “ඔබේ කතා නියමයි. හැබැයි, ඒවා ක්‍රියාවට පෙරලෙන්නේ කොහොමදැයි ඔබ සහතික කරන්නේ කෙසේද. කරලා පෙන්නන්න” යනුවෙන් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිල ගිණුමෙන් යවන ලද පණිවිඩයකි.

“ජනාධිපති සිරිසේනට ඔහුගේම @PMDNewsGov වෙතින් උපදෙස්” යනුවෙන් අසාම් අමීන් තමන්ගේ සටහනක් එක් කර තිබුනි.

මාධ්‍ය නිදහසේ ජයග්‍රහණයක් ?

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මාධ්‍යවේදීන් හමුවේ හෙළිදරව් කර සිටි පරිදි CID යට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත්තේ ජනාධිපති මාධ්‍ය ඒකකයයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඔහුගේ නිල මාධ්‍ය කාර්ය මණ්ඩලය අපහසුවට පත් කර ඇති ට්විටර් පණිවුඩය පිළිබඳව සාක්ෂි විමසීම සඳහා මාධ්‍යවේදී අසාම්ට මැයි 10 දා සයිබර් අපරාධ ඒකකයට පැමිණෙන ලෙස රහස් පොලිසිය විසින් දැනුම් දී තිබුනි.

“එතුමාගෙන් සාක්කියක් ගන්න අදහසක් තිබුනේ, ඒකත් දැන් අතහැරලා තියෙනවා,” යි එදින මාධ්‍ය හමුවට සහභාගි වූ අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේය.

එය මාධ්‍ය නිදහසේ ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දුන් අමාත්‍යවරයා මෙන්ම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා කියා සිටියේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් යවන ලද “ව්‍යාජ පණිවිඩය” සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවයි.

ඒ සම්බන්ධයෙන් රජය මැදිහත් වූ බව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කළේය.

Azzam tweet president 1

මුල් ට්විටර් පණිවිඩය “දැන් ගලවලා”

“අමීන් මහත්මයා කළේ මේක රීට්වීට් කිරීම පමණයි, එතුමා මේකට සම්බන්ධ නෑ කියලා මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි රජය වෙනුවෙන්,” යනුවෙන් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා හමාර නොවූ පරීක්ෂණයක් ගැන තීරණයක් දෙමින් ප්‍රකාශ කළේය.

අසාම් අමීන්ගේ පණිවිඩයෙන් ටික වෙලාවකට පසු ජනාධිපති මාධ්‍ය ඒකකය ට්විටර් මගින් දැනුම් දී තිබුනේ එම ගිණුම මද වේලාවකට “අනතුරේ වැටී” තිබූ බවයි.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ මුල් ට්විටර් පණිවිඩය “දැන් ගලවලා” යි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මාධ්‍යවීදීන් හා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, දැනට සයිබර් අවකාශයෙන් අතුරුදහන් වී තිබෙන ට්විටර් පණිවිඩය ඇසින් දුටු බීබීසී මාධ්‍යවේදියාගෙන් සාක්ෂි නොවිමසා විමර්ශනය පවත්වන්නේ කෙසේදැයි නීතිඥවරයා පැහැදිලි කළේ නැත.

CIDයට පැමිණීමේ අවශ්‍යතාවක් නැතැයි පොලිසිය විසින් තමන්ට ලිඛිතව හා වාචිකව දැනුම් දෙන ලදැයි සමාජ ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබූ මාධ්‍යවේදී අසාම් අමීන්, මෙම සිදුවීමට අදාලව සහාය දැක්වූ සියල්ලන්ට ස්තුතිය පල කර තිබුනි.

අනාගතයේ ප්‍රශ්නයක් මතුවුවහොත් දැනුම් දෙන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා ඒ සම්බන්ධයෙන් වහාම මැදිහත් වන බවට සහතික විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විමර්ශන සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැදිහත් වන බව රජයට පිළිගැනීමට සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ.

(radiogagana)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න