යළි පොදු අපේක්ෂකයකුට ඉඩ දෙන්නේ නෑ- එජාප පසුපෙළ කියයි 

 යළි පොදු අපේක්ෂකයකුට ඉඩ දෙන්නේ නෑ- එජාප පසුපෙළ කියයි 

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඊට සුදුසු එක්සත් ජාතික පක්ෂයේ නායකයකු ඉදිරිපත් කරන බවත් කිසිසේත්ම පොදු අපේක්ෂකයකු සඳහා මෙවර එක්සත් ජාතික පක්ෂය දායකත්වය ලබානොදෙන බවත් එම පක්ෂයේ පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පවසති.

පසු පෙළ මන්ත්‍රිවරයකු "මව්බිම" පුවත්පතට එබව අවධාරණය කර ඇත.

ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකුට දායක නොවනවා සේම ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය දායක නොවීමේ යෝජනා දෙකක් ඉදිරියේදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කරන බව එම මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමෙන් රටට වාගේම පක්ෂයට කිසිදු සෙතක් අත්නොවන බවත් ජාතික ආණ්ඩුවකින් අත්වන්නේද එම ඉරණම බවත් එම මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසා ඇත.

rajitha 7 
''ඉදිරිපත් කරන්නේ පක්‍ෂ නායකයෙක්ද නැතිනම් පොදු අපේක්‍ෂකයෙක් ද යන්න තීරණය කළ යුත්තේ ජනාධිපතිවරණයේදීයි.’’ - ඇමති රාජිත 

කෙසේවුවද සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ, 
මීළඟ  ජනාධිපතිවරණයේදී ද පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා මැයි දින සැමරුමෙන් පසුවද තමන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත්ය.  

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පෙරේදා (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ඉදිරිපත් කරන්නේ පක්‍ෂ නායකයෙක්ද එසේත් නැතිනම් පොදු අපේක්‍ෂකයෙක් ද යන්න ගැන තීරණයක් ගත යුත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශවීමෙන් පසුව බව කී අමාත්‍යවරයා, එක්සත් ජාතික පෙරමුණ තුළ පොදු අපේක්‍ෂකයෙක් පිළිබඳ එකඟතාවක් ඇති වුවහොත් ඒ ගැන වෙනත් පක්‍ෂ සමඟ ද සාකච්ඡා කරන බව සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ ද පැවසීය. 

‘‘ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා තමන්ද නැතිනම් වෙන කෙනෙකු ද යන්න අගමැතිතුමා මෙතෙක් ප්‍රකාශ කර නැහැ. එතුමා මැයි දිනයෙන් පසුත් මා සමඟ පොදු අපේක්‍ෂකයෙක් ගැන සාකච්ඡා කළා. එතුමා කටුවක් අස්සේ ඉන්න දේශපාලනඥයෙක් නෙවෙයි. එතුමාට දේශපාලනය හොඳින් තේරෙනවා. 

ඉදිරිපත් කරන්නේ පක්‍ෂ නායකයෙක්ද නැතිනම් පොදු අපේක්‍ෂකයෙක් ද යන්න තීරණය කළ යුත්තේ ජනාධිපතිවරණයේදීයි.’’ යැයි ඇමතිවරයා කීවේය.

අවසන් තීරණය ?

මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අපේක්‍ෂකයා කවුද යන්න ගැන අවසන් තීරණය ගන්නේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසුව බවත්, එය පක්‍ෂ සම්ප්‍රදාය බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න