අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට සහය ලබාදෙමින් ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මැති ඇමති පිරිසෙන් බහුතරයක් තවමත් ඇමති වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කර සිටියි.
2018 අප්‍රේල් 19 වනදා ආණ්ඩුවෙන් ඉවත්වූ බව සහ විපක්ෂයේ අසුන් ගන්නා බවට ශ්‍රීලනිප 16 කණ්ඩායම ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නිල වශයෙන් දැනුවත් කර ඇති නමුත් මෙම පිරිසේ බහුතරයක් තවමත් සිය වාහන ඇතුළු අමාත්‍යධුර ඉසිළු සමයේ ලද වරප්‍රසාද රැසක් තවමත් නිසිලෙස භාරනොදී ඇති බවද එජාප ප්‍රකාශකයා පැවසීය.
එසේම එස්.බී. නාවින්න අමාත්‍යංශයේ තිබු පරිගණක පවා ගෙදර ගෙනගොස් තිබෙන බවත් තවත් බොහෝ අමාත්‍යංශ සතු විවිධ උපකරණ අතුරුදහන්ව තිබෙන බව අනාවරණය වෙමින් ඇති බවද ඔහු සඳහන් කර සිටියේය.
මේ අතර තනතුරෙන් ඉවත්වූ බව දැනුම්දෙමින් ලිපියට අත්සන් කළ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ධුරයෙන් සමුගෙන මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඔහු තවමත් එම තනතුරේ වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින බවත් එය බරපතල විෂමාචාරයක් බවද එජාප ප්‍රකාශකයා සඳහන් කර සිටියේය.
තිලංග ඉවත් කිරීම පමාවට ජනාධිපතිවරයාත් වගකිව යුතුයි
මේ අතර ඊයේ (11) පාර්ලිමේන්තුවේ දී එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර දැනටමත් ඉල්ලා අස්වී තිබෙන නියෝජ්‍ය කතානායකවරයා සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව කතානායකවරයා වෙතින් විමසා ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා පවසා ඇත්තේ මෙතෙක් එම ප්‍රශ්නය විසඳීමට නොහැකිව ඇත්තේ ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට කටයුතු කිරීමට අවශ්‍ය ජනාධිපතිගේ අනුමැතිය තවමත් ලැබී නොමැති නිසා බවය. එසේම මේ පිළිබඳ දෙවතාවක්ම නිල වශයෙන් ජනාධිපතිට දන්වා ඇති බවද කතානායකවරයා පවසා ඇත.

