චීනයෙන් වැඩම කළ කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා අය කරන රුපියල් ලක්ෂ 32 රේගු බද්ද ගෙවීමට රුපියලකින් හෝ උදව්වක් කරන්නයි ඉල්ලමින් ඇතැම් පුද්ගලයින් සංවිධානාත්මකව ගෙනයන මාධ්‍ය මෙහෙයුම පිටුපස පැහැදිලි දේශපාලන කුමන්ත්‍රණයක් ඇතැයි බෞද්ධ ශාසන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු පාර්ශවයකින් ලිඛිත ඉල්ලීමක් තම ආයතනයට ලැබී නැතැයි ද එම නිලධාරියා කියා සිටියේය.
ඒ චීනයෙන් වැඩම කළ කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා අය කරන රුපියල් ලක්ෂ 32 රේගු බද්ද ගෙවීමට රුපියලකින් හෝ උදව්වක් කරන්නයි මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතත හිමියෝ යන මාධ්‍ය හරහා ගෙනියන ප්‍රචාරය පිලිබඳ සති අන්ත පුවත්පතක පලවී ඇති වාර්තාව සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' කල විමසීමකදීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ එම නිලධාරියා මෙසේද පැවසිය.
'' රජයකින් රජයකට මෙවැනි පරිත්‍යාගයක් ලැබුනොත් ඒ කිසිඳු අවස්ථාවක රේගු බදු අයකිරීමක් වෙන්නේ නැහැ. එහෙත් රජයකින් පෞද්ගලික ආයතනයකට හෝ විදෙස් පෞද්ගලික ආයතනයකින් හෝ පුද්ගලයින් ගෙන් මෙරට ආයතනයකට මෙවැනි පරිත්‍යාගයක් ලැබෙන අවස්ථාවක සාමාන්‍ය පරිදි බදු නියම කරනවා.
නමුත් පරිත්‍යාගය ලබාගන්න පාර්ශ්වය ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් කලොත් ඊට ආධාර කරන්න, ඊට අදාල බදු ගෙවීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට සෑම අයවැයකින්ම ප්‍රතිපාදන වෙන් වෙලා තියනවා.
නමුත් මේ පිළිම වහන්සේලා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් කිසිඳු පාර්ශවයකින් මේ දක්වා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත්වී නැහැ.
පිළිම ගෙන්න අනුමැතියක් අරගෙනත් නැහැ :
වැදගත්ම කාරණය මෙවැනි පිළිම වහන්සේලා ගෙන්වීමේදී එම පිළිම වහන්සේලාගේ හැඩය ආකෘතිය පිළිබඳව පුර්ව අනුමැතියක් ලබාගත යුතුයි. එහෙම නැතුව පිළිම වහන්සේලා මෙරටට ගෙන්වන්න අනුමැතිය දෙන්නේ නැහැ.
දැන් මේ නාහිමියන් වහන්සේ හිතුමතේට පිළිම වහන්සේලා වැඩම්මවලා, හිරවුනාම අපේ ඇඟේ ගහන්න හදනවා ..
අදාල පාර්ශවයෙන් ලිඛිත ඉල්ලීමක් ලද වහාම මෙම පිළිම වහන්සේලා නිදහස් කර ගැනීමට මුදල් වෙන් කිරීමට බෞද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්තුමා පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතත හිමියන්ට පොරොන්දු වෙලත් තියනවා.
එවැනි තත්වයක් තුල මෙසේ ඇතැම් මාධ්‍ය හරහා අවලාද නැගීම පිටුපස ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ සුදානමක් ඇද්දැයි සැකයක් මතුවෙනවා''

