ක්‍රීඩා සංචාරකත්වය දියුණු කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය විජිත හේරත් පසුගියදා (16) උපදෙස් දුන්නේ ය.
ඒ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා සම්මේලන කිහිපයක නියෝජිතයන් ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දී පැවැති විශේෂ රැස්වීමක දී ය.
මෙම රැස්වීමේ දී ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ සංවිධානය කිරීම හා සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා ගනිමින් ඒවා විදේශිකයන් අතර ප්‍රචලිත කිරීම තුළින් සුවිශේෂි සංචාරක කාණ්ඩයක් ශ්‍රී ලංකාව දෙසට ආකර්ශනය කරගැනීම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරුණි.
එහි දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට්, රග්බි, පාපන්දු යන ප්‍රධාන ක්‍රීඩා තරඟවලට අමතරව තවත් ක්‍රීඩා ගණනාවක් සඳහා විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, තරඟ සංවිධායකවරුන් ප්‍රේක්ෂකයන් ඇතුළු විශාල පිරිසක් වාර්ෂික පැමිණෙන බව හඳුනා ගනු ලැබුණි.
වෝටර් රාෆ්ටිං, සර්ෆිං, කඳු නැගීම, පා පැදි තරඟ, මැරතන් තරඟ ආදි ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාව අවධානය දිනා ඇති අතර මෙම ඉසව් විවිධ ස්ථානවල වෙන වෙනම පැවැත්වෙන බවත් මෙම රැස්වීමේ දී අනාවරණය විය. මින් ඇතැම් තරඟ ජාත්‍යන්තර මට්ටමේ තරඟ නොවුණත් විවිධ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් විවිධ කොටස් වශයෙන් පැවැත්වෙන බවත් වැඩිදුරටත් වාර්තා විය.
ක්‍රීඩා සංචාරකත්වය දියුණු කරන්න මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමටත් අවධානය
එළඹෙන වසර සඳහා සංවිධානය කර තිබෙන ඉසව්, තරඟ පිළිබඳව ද අධ්‍යයනය කරනු ලැබූ අතර පළමු මාස 04 තුළ ක්‍රිකට් තරඟ 40ක් පමණ සංවිධානය කර තිබෙන බවත් සෙසු ක්‍රිඩා සඳහා ද ඉසව් රැසක් සංවිධානය කර තිබෙන බව ද හඳුනාගනු ලැබුණි.
කෙසේ නමුත් ක්‍රීඩා ඉසව් සැලසුම්සහගව සංචාරක ආකර්ශනය සඳහා යොදා ගැනීම සිදු නොවීම ගැටලුවක් වන බැවින් එයට පිළියමක් ලෙස මෙහෙයුම් කමිටුව පිහිටුවීමට තීරණය විය.
මෙහි දී අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ දී විවිධ අංශ හඳුනාගැනීම අවශ්‍ය වන බවත් එහිදී ක්‍රීඩා සංචාරකත්වය විශේෂ අංශයක් ලෙස රජය හඳුනගෙන තිබෙන් බවත් ය. එමෙන් ම මෙහෙයුම් කමිටුව පිහිටුවීම තුළින් ක්‍රීඩා සංචාරකත්ව ක්ෂේත්‍රයේ තිබෙන විශේෂත්වය, විභවතාව සහ පරාමිතීන් හොඳින් අවබෝධ කරගෙන ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කළ හැකි බවයි.
ඒ අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සංවර්ධන වැඩපිළිවෙල්වල දී ක්‍රීඩා හා සංචාරක යන ක්ෂේත්‍ර දෙක සම්බන්ධ කර ක්‍රීඩා සංචාරකත්වය ප්‍රවර්ධනය කරන්නේ කෙසේ ද තරඟ ගෝලීය වශයෙන් ප්‍රචාරය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් ශ්‍රී ලංකාවට පැමිණෙන ක්‍රිඩා සංචාරකයන් අතර ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය හඳුන්වා දීම, අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම, ඒ සඳහා අවශ්‍ය වන මගපෙන්වීම් ලබා දීම, සැලැසුම් ලබා දීම ආදිය සිදු කිරීම මෙහෙයුම් කමිටුව මගින් අපේක්ෂා කරයි.
මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේද එක්ව සිටියහ.