ආත්මගරුත්වයක් තියනවා නම් ගෝඨාභය USA නිජබිමට යන්න - ඇමති මංගල 

ආත්මගරුත්වයක් තියනවා නම් ගෝඨාභය USA නිජබිමට යන්න - ඇමති මංගල 

රන්ජන් රාමනායක  නියෝජ්‍ය අමාත්‍යවරයා විසින්  ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ  ලේකම්වරයා හැටියට කතරගම මැණික් ගඟේ ඉවුරේ සෑදු  සුඛෝපභෝගී මහා මාලිගාව ලයිට් බිල් සහිතව ඔප්පු කල බවත් දැන් ගෝඨාභයට  ආත්මගරුත්වයක් තිබෙනවා නම් කල යුතුව ඇත්තේ ඔහුගේ නිජබිම වූ ඇමරිකාවට යාම බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  ඊයේ (04) එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩ බාරගත් අවස්ථාවට සහභාගී වෙමින්ය.

අදාළ මාලිගය ගෝඨාභයගේ නොවේනම් ඔහුගේ නමට විදුලි බිල්පත් යැවීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍යතාවක් නොමැති බවත්  අයිතිකාරයාට හැර කුලී කාරයාට සාමාන්‍යයෙන් එහෙම බිල් නොයවන බවත්   එම ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා පවා  ඒ කාලේ හමුදාව යොදවා  ඒ මහා මාලිගාව හැදු බවට සාක්ෂි දරන බවත්  අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවේ අමාත්‍යවරයා සිදුකළ සම්පුර්ණ කතාව පහත පළවේ.

හරීන්ගේ සත්‍ය මෙහෙයුමට සුභ පතනවා !

අද හරීන්  ප්‍රනාන්දු මැතිතුමා අප පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හැටියට ඒ වගේම මාධ්‍ය ප්‍රධානීන් හැටියට වැඩ බාරගනිමින් යලි වතාවක් එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමේ පළමු වෙඩි මුරය මේ ස්ථානයේදී සත්‍ය මෙහෙයුම හරහා පටන් ගැනීම මම එතුමාටත් එතුමාගේ සංවිධාන කමිටුවටත් මාගේ විශේෂ ස්තූතිය පිරිනමන්න කැමතියි. ඇත්ත වශයෙන්ම අපිට මතකයි 2013-2014 රෙදි බොහෝ එක්සත් ජාතික පාක්ෂකයන් වසර ගණනාවක් තවදුරටත් විපක්ෂයේ ඉන්න පවා හිත හදාගෙන තිබුන යුගයක ඒ මානසිකත්වය වෙනස් කරලා ඔහු අපිට පුළුවන් අපිට දිනන්න පුළුවන් කියන මානසික ශක්තිය ධෛර්යයෙන් යුතුව එතුමා එදා විශාල පරිත්‍යාගයක් කරලා ඌවේ පළාත් සභාවේ මහඇමති ධූරයට තරඟ කරලා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතකට යොමු කරලා, අර මම කිවුවා වගේ බොහෝ දෙනා නොසිතූ මොහොතක අපිට යලි වතාවක් මේ රටේ පාලන බලය ලබාගන්නට පුළුවන් වුණා.

2015 ජනවාරි මාසයේ අපි පිහිටවපු රජය ඇත්තවශයෙන්ම ප්‍රධාන කුළුණු තුනක් උඩ අපි ගමන ආරම්භ කරේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ වගේම සංහිඳියාව සහ සංවර්ධනය ඇති කිරීමේ දැඩි අභිලාෂයකින් , මොකද අපි මේ රජය භාරගන්න කොට ආර්ථිකය මහා විනාශයක් කරා ගිහිල්ලා තිබුණා.

සත්‍ය කියන වචනයටත් බියවූ ආණ්ඩුවක් තිබුණේ !

මුළු ලෝකයම ශ්‍රී ලංකාව තනිකරලා ඇත්තවශයෙන්ම ආර්ථික සම්බාධක පවා පැණවීමේ තත්වයක් තිබුණා. අපි භාරගන්නකොට ශ්‍රී ලංකාවට එරෙහිව ජ්‍යාතන්තර යුධ පරීක්ෂණයක් ආරම්භ කරලා තිබුණා. ඒ වගේම එක පවුලක තියෙන කෑදරකම නිසා ඊට වසර කීපයකට ප්‍රථම ලබාගත් යුධ ජයග්‍රහණය ලත් මේ රට සංවර්ධනය කරනවා වෙනුවට රාජපක්ෂ රෙජිමය අපේ වීරෝධාර රණවිරුවන් ලබා ගත්තු ඒ ජයග්‍රහණය තමන්ගේ පවුල් පාලනය දිග්ගස්ස ගැනීම සඳහා යොදාගනිමින් හිටියා. සත්‍ය කියන වචනෙට බයවෙච්ච ආණ්ඩුවක් තිබුණේ. අසත්‍ය රජ කරා. සත්‍ය ගැන කතාකරපු සියළු දෙනාටම වගේ ජීවිත පරිත්‍යාග කරන්න සිදුවුණා. ලසන්ත වික්‍රමතුංග මහත්මයා ගෝඨාභය රාජපක්ෂගේ මිග් 16 ගනුදෙණුව ප්‍රථම වතාවට පුවත්පත්වල හෙළිදරවු කරා. ආරක්ෂක ලේකම් හැටියට ඩොලර් කෝටි ගණනාවක් ආරක්ෂක අමාත්‍යංශයේ සල්ලි එංගලන්තෙ හොර ලිපිනයකට ඔෆිස් එකක්වත් නැති ලියාපදිංචි නොකළ කොම්පැණියකට යොමුකරා කියලා ප්‍රථම වතාවට කිවුවේ ලසන්ත. ඒ තුළින් රාජපක්ෂ නඩය ඩොලර් මිලියන 7 ටත් වඩා ගසා කෑවයි කියලා චෝදනාව කරේ මුලින්ම ලසන්ත. නමුත් ඒ චෝදනාව කරලා මාස කිහිපයක් යන්නත් ඉස්සෙල්ලා එතුමා ආරක්ෂක කළාපයේ අමු අමුවේ මැරුවා. එක්නැලිගොඩ, කීත් නොයාර් මේ වගේම හෙළිදරව් රාශියක් කරා, උපාලි තෙන්නකෝන්ලා කරා, ඒ සත්‍ය කතාකරපු හැම කෙනාටම සිදුවූ විනාශය අපි හොඳින් දන්නවා, ඒවායේ තොරතුරු හෙමින් හෙමින් වුණත් මේ වන විට උසාවි හරහා එළිදරව් වෙමින් තියෙනවා.

ප්‍රජාතන්ත්‍රවාය යනු කුමක්ද යන්න ඔප්පු කල ආණ්ඩුවක් අද තියනවා 

අන්න එවැනි යුගයක් පහුකරලා ප්‍රජාතන්ත්‍රවාදය සංහිඳියාව යන පළවෙනි කුළුණු දෙකම අපි සාර්ථකව ඉදිකරලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලුවොත් මම හිතන්නේ නැහැ එක්දහස් නවසිය පනස් ගණන්වලවත් මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදී රටාවක් මේ රටේ තිබුණ කියලා. අද ඕනෑම කෙනෙකුට ඕනෑම විදිහට ලියන්න පුළුවන් කියන්න පුළුවන්. පාරේ හැමදාම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මෙන්ම කොහේ කොහේ හරි විරෝධතාවයන් තියෙනවා. කැබිනට් ඇමතිවරු දෙන්නෙක් මේ කාලය තුලදී ඉල්ලා අස්වුණා. එපමණක් නෙවෙයි අද අගමැතිවරයාට පවා විරුද්ධව විශ්වාස භංග ගෙනත් තියෙනවා. ඒ අවශ්‍ය කරුණු පැහැදිලි කිරීම් කරනවා. මෙන්න මේකයි ප්‍රජාතන්ත්‍රවාදයක් කියන්නේ. මේ සමහරු සට්‍රයික් හැමතැනම තියෙනවා, මතභේද තියෙනවා, අගමැතිතමාව කොමිෂන්වලට ගෙන්වනවා කියලා කියන ඒක දුරුවල ආණ්ඩුවක ලක්ෂණයක් කියනවා. මේක දුර්වල ආණ්ඩුවක් නෙවෙයි. ඉංග්‍රීසියෙන් කියනවා නම් we are mutual democratic now. ඇමරිකාවේ, එංගලන්තේ, යුරෝපයේ හැම රටකම මේ තත්වය තියෙනවා. දැන් බලන්න ඇමරිකාවේ ට්‍රම්ප්, ලෝකයේ බලවත්ම පුද්ගලයා වුණත් අද FBI එකේ අධිකරණ අමාත්‍යංශයෙන් එතුමාට විරුද්ධව එතුමා චන්දෙ දිනන්න රුසියන් කාරයන්ගේ සහයෝගය ලබාගත්තයි කියන පරීක්ෂණය කරගෙන යනවා. එතුමාගේ බෑනගෙන් ප්‍රශ්න කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයක් කියන්නේ ඒකයි. අන්න ඒ නිසා තමයි මම කිවුවේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් නම් මේ අවුරුදු තුනේ සීයට සීයක් ලකුණු මේ රටේ ජනතාව අපට ලබාදෙන්න ඕනේ.

සංහිඳියාවෙන් තොර සංවර්ධනයක් නෑ !

අනිත් වැදගත් දේ සංහිඳියාව. මොකද රටක් කොච්චර දක්ෂ වුණත් සංහිඳියාව නැත්නම් යලිවතාවක් මේ රටේ යුද්ධය ඇති කිරීමට අපි ඉතිරි කරනවා නම් මේ රටේ ජීවත් වන ජාතීන් අතර සමගියක් නැත්නම් කවදාවත් රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න බැහැ.

පසුගිය යුගයේ හොල්මන් යලි වතාවක් සිංහල, මුස්ලිම් ජනතාව අතර ප්‍රශ්න ඇති කරන්නට හදනවා. නමුත් ඒ සියල්ල ඉදිරියේත් මේ රටේ සංහිඳියාවේ කටයුතු සමග අපි සෘජුව ඉදිරියට ගෙනයනවා.

ජනාධිපති තුමා පමණක් යාපනයට 17 වතාවක් ගියා. අගමැති තුමා ගිය සතියෙත් ගියා වගේම 12 ස් වතාවක් යාපනයට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් අය අතර ඒ සංහිඳියාව ඇති කිරීමට රජයේ වෙනම ප්‍රබල අමාත්‍යංශයක් තියෙනවා.

Fake News ලෝකයටම  අභියෝගයක් 

නමුත් අවාසනාවකට වාගේ ගොඩක් අයට මේවා පේන්නේ නැහැ. අපේ හරීන් ප්‍රනාන්දු මැතිතුමා කියනවා වගේ සත්‍ය අසත්‍ය කරන යුගයක් අද ලංකාවේ තියෙන්නේ. මේක මේ රටට විතරක් සීමාවෙලා නැහැ. මුළු ලෝකයටම Fake News බොරු නිවුස් කියන කාරණාව ලෝකයටම ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. ලංකාවට ඒක ඊටත් වඩා අභියෝගයක් වෙලා තියෙනවා. ඇත්තවශයෙන්ම අර කිවුවා වගේ මේ ආණ්ඩුවේ වගා කරගන්නා වූ ඒ විශිෂ්ඨ ජයග්‍රහණ ගැන මුකුත් කියන්නේ නැතුව, අඩුවක් දැක්කොත් ඒ අඩුව ගැන පමණක් ලියනවා.

පරණ කතාවක් ගත්තොත්, මේ බෝතලේ බාගෙට හිස් කියනවා මිසක් ඒක බාගෙට පිරිලා කියලා කියන්නේ නැහැ. හැමවෙලේම හිස් පැත්ත බලන්නේ. සත්‍ය විකෘති කරලා බොහෝ දෙනා ඒවායින් ජීවත් වෙනවා. අන්න ඒ නිසා තමයි අප ඉතාමත්ම සතුටු වෙන්නේ සත්‍ය සත්‍ය හැටියට පෙන්වන්න පුළුවන් ව්‍යාපාරයක් අද අපේ පවීන් ප්‍රනාන්දු මැතිතුමා ආරම්භ කරලා තියෙනවා. අන්න ඒ නිසා විශේෂයෙන් අපි ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලන්නේ යලි වතාවක් ඒ අඳුරු යුගයට ආවඩන්නේ නැතුව මේ සත්‍යයේ යුගය වඩාත් ශක්තිමත් කිරීම සඳහා සත්‍ය සත්‍ය හැටියට හෙළිදරව් කරන්න ඕනේ කියලා.

ගෝඨාභය දැන් USA යන්න 

මම මීට සති දෙකකට ඉස්සෙල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ තියන සියලුම නඩු සහ නඩු අංක ඇතුලු සියල්ල මාධ්‍ය ප්‍රකාශයයේදී මාධ්‍යයට කිවුවා. ඇත්ත වශයෙන්ම මම සන්තෝෂ වෙනවා ඉලෙක්ට්‍රොනික් මීඩියා වල මම දැක්ක ඒක. නමුත් එක සිංහල පත්තර බයවුනා ගෝඨාභය රාජපක්ෂගේ හොරකම් ගැන ලියන්න. ලංකාදීපයේ සිරි රණසිංහලා දිවයිනේ ඉන්න කතෘවරුන්ගෙන් මම අහනවා,මවුබිබේ ඉන්න කතෘවරුන්ගෙන් මම අහනවා ගෝඨාභය රාජපක්ෂගේ හොරකම්, හොරකම් නෙවෙයිද අද? ඒ වගේම මම දැක්ක ඊයේ පෙරේදා රන්ජන් රාමනායකට ගෝඨාභය රාජපක්ෂ අභියෝග කරා මට මගේ නෝනගේ ගෙදර ඇරෙන්න තව ගෙවල් තියෙනවා නම් පෙන්වන්න කියලා. රන්ජන් රාමනායක ඒ අභියෝගය භාරගෙන කරුණු කාරණා සහ ලයිටි බිල් ඇතුව පෙන්නුවා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හැටියට කතරගම මැණික් ගඟේ ඉවුරේ හදපු ඒ සුඛෝපභෝගී මහා මාලිගාව. එයා දැන් කියයි නෑ එහෙම එකක් නැහැ දැන් ඔය මට මඩ ගහනවා කියලා. මමත් අහනවා තමන්ගේ ගෙයක් නෙවෙයි නම් ලංකා ඉලෙක්ට්‍රිස්ටි බෝඩ් එකට තියෙන අමාරුව මොකක්ද ගෝඨාභයගේ නමින් එතනට ලයිට් බිල් යවන්න. කුලී කාරයාට සාමාන්‍යයෙන් එහෙම බිල් එවන්නේ නැහැ. අනිත් ඒක ඒ පැත්තෙ හාමුදුරුවොත් කියනවා ඒ කාලේ හමුදාව දාලලු ඒ මහා මාලිගාව හැදුවේ. ඇත්ත වශයෙන්ම අපේ ඇමතිවරුන්ට වගේ ආත්මගරුත්වයක් තියෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ දැන්වත් අර තමන්ගේ නිජ බිමට යන්න ඕනේ ඇමරිකාවට. මෙහේ ඇවිල්ලා නිකන් බොරු බොරු කලබල කරන්නේ නැතුව.

ඒ එකයි තව තියෙනවා, තව තියෙනවා අපි පෙන්වන්නම්. තව කල් තියෙනවනේ අවුරුදු එකහමාරක් දෙකක් තියෙනවා. ඉතින් ඔක්කොම එකපාරට එළියට දාන්න ඕනේ නැහැ. සත්‍යය අපි පෙන්නන්නම්. නමුත් අපිට අනුන්ගේ වැරදි කිය කිය ඉන්න ඔනෙත්  නැහැ මොකද අපිට අපේ පත්තෙන් වැඩ රාශියක් කරන්නත් තියෙනවා කරලත් තියෙනවා.

ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් ඇතිකළා !

තමුන්නාන්සේලාට පෙනුනේ නැති වුණාට තමුන්නාන්සේලා දන්නවද ලංකාවේ ප්‍රාථමික ශේෂය  සර් ජොන් කොතලාවලගේ ආණ්ඩුවෙන් පස්සේ 1955 න් පස්සේ ප්‍රථම වතාවට අතිරික්තයක් පෙන්නුවේ 2017 අන්තිම. ඒ අතිරික්තය මේ අවුරුද්දේ ඊටත් වඩා දියුණු වෙනවා. ඕවා ගැන කවුරුවත් ලියන්නේ නැහැ. ඒ වගේම පසුගිය අවුරුද්දේ තමයි, ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන  සංඛ්‍යාව පෙන්නුවේ. ගිය අවුරුද්දේ තමයි ලංකාවේ ප්‍රථම වතාවට වැඩිම  ආයෝජනය පෙන්නුවේ. මේවා අපි කියන ඒවා නෙවෙයි.

ඒ විතරක් නෙවෙයි පසුගිය දා ඩේලි මිරර් එකේ තිබුණේ ලංකාවේ විරැකියාවේ ප්‍රතිශතය අවුරුදු 15 කට පස්සේ අඩුම ප්‍රතිශතයකට පහල බැහැල තිබෙනවා 4.2% කට.

මෙන්න මේ වගේ ජයග්‍රහණ ගොඩක් ලැබිල තියෙනවා. එහෙමනම් මෙන්න මේ සත්‍ය ජනතාව තුළට ගෙන යන්නට ඉතාමත්ව ශක්තිමත් පුද්ගලයෙක් අපේ පක්ෂයෙන් ඉදිරිපත්වෙලා ඉන්නවා. අපි එතුමාට ලබාදෙන්නට පුළුවන් සම්පූරණ සහයෝගය ලබාදෙනවා. විශේෂයෙන්ම අපි මේ මාසේ 22 වෙනිදා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ආරම්භ කරනවා. අගෝස්තු මාසේ 18 වෙනකොට ගම්පෙරළිය වැඩසටහන ලංකාවේ හැම ගමක් ගමක් ගානෙම ආරම්භ කරනවා. ඒ සඳහා අපි රුපියල් බිලියන 80 ක් වෙන් කරලා තියෙනවා. එහෙමනම් තමුන්නාන්සේලාට ලියන්න කියන්න විශාල ප්‍රමාණයක් අපි ලබා දෙන්නම්. එසේ කියමින් මම යලි වතාවක් අපේ මාධ්‍ය හා සන්නිවේදන ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මැතිතුමාට මාගේ ස්තූතිය පිරිනමමින් ඒ වගේම අපේ නව ප්‍රධාන ලේකම් අකිල විරාජ් මැතිතුමාටත් ධෛර්ය ශක්තිය ලැබේවායි කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න