ඔස්ට්‍රේලියාවේදී 'වසරේ විශිෂ්ටතම විද්‍යාඥයා' ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික මහාචාර්යවරයා

ඔස්ට්‍රේලියාවේදී 'වසරේ විශිෂ්ටතම විද්‍යාඥයා' ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික මහාචාර්යවරයා

මහාචාර්ය චරිත පට්ටිආරච්චි (මැද) සම්මානය අතැතිව


සටහන :
කුමුදු ජයවර්ධන
බීබීසී සිංහල



ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු ඔස්ට්‍රේලියාවේදී වසරේ විශිෂ්ටතම විද්‍යාඥයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබී ය.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ The 2025 Premier's Science Awards සම්මාන උළෙලේදී ජනතා කැමැත්ත මත පිරිනැමෙන සම්මානය ඔහුට හිමි විය.

මහාචාර්ය චරිත පට්ටිආරච්චි නමැති ඔහු පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව, ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබේ.

මේ විශිෂ්ට ශ්‍රී ලාංකිකයා විද්‍යාඥයෙකු වීමට බලපෑ කුඩා අවධියේ සිට වර්තමානය දක්වා අත්දැකීම් රැසක් බීබීසී සිංහල සේවය සමග බෙදා ගත්තේ ය.


මහාචාර්ය චරිත පට්ටිආරච්චිට ලැබුණු සම්මානය කුමක් ද?

"ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයක ම අවුරුද්දකට සැරයක් ජනතා ඡන්දයෙන් හොඳ ම විද්‍යාඥයා තෝරලා සම්මානයක් ප්‍රදානය කරනවා. මම අයිති වෙන්නෙ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට. ඒ සම්මානයට විශ්වවිද්‍යාලයෙන් අපිව දානව රෙකමන්ඩ් කරලා. ඒකෙ ඔන්ලයින් වෝටිං එකක් තිබුණෙ. ඒකෙදි වැඩියෙන් ම වෝට්ස් ආවෙ මට. ඒ නිසා තමයි මට ඒ සම්මානය හම්බ වුණේ," මහාචාර්ය චරිත පට්ටිආරච්චි පැහැදිලි කළේ ය.

මෙම සම්මාන උළෙල වසර 24ක කාලයක් පුරා පැවැත්වෙන අතර, වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සඳහා මෙම සම්මානය පිරිනැමේ.

කෙසේ වෙතත්, එම වසර 24ක කාලය පුරවට ම සාගර විද්‍යාඥයෙකුට මෙම සම්මානය මෙවර පිරිනමනු ලැබුවේ ප්‍රථම වරට ය.

charithචරිත පට්ටිආරච්චි සම්මාන උළෙල අමතමින් ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK / UWA RESEARCH

මහාචාර්ය චරිත් පට්ටිආරච්චි කර ඇති පර්යේෂණ මොනවා ද?


මහාචාර්ය චරිත පට්ටිආරච්චි සාගර විද්‍යාව පිළිබඳ පර්යේෂකයෙකි.

ඔහු පවසන පරිදි, සාගර විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් සහ මහාචාර්ය තනතුරක් හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකිකයා ඔහු ය.

"2004 සුනාමි ආව වෙලාවෙ මම නිවාඩුවකට ලංකාවට ඇවිත් හිටියෙ. මං බෙන්තොට යනකොට තමයි, සුනාමි එකට අහු වුණේ. මමත් එතනදි වතුරට අහු වුණා. එතකොට මම විතරයි දැනගෙන හිටියෙ සුනාමි කියන්නෙ මොකක් ද කියලා. එතකොට මම මාධ්‍යවල ගියා. චන්ද්‍රිකා බණ්ඩාරනායක තමයි ඒ කාලෙ ජනාධිපති. ඊට පස්සෙ එයා මාව දැම්මා, සුනාමි වෝනිං සිස්ටම් එක හදන්න. අපි ගොඩක් කට්ටියක් ඒකට සම්බන්ධ වුණා. මම තමයි කළේ, කම්පියුටර් මොඩ්ල් ෆෝකාස්ට් කරන එක. සුනාමිය කොහොම ද එන්නෙ? කොහොම ද පටන් ගන්නෙ? ඒක තමයි මම කළේ."

ඔහු සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය සැලසුම් කිරීම සඳහා ඍජු දායකත්වයක් ලබා දුන්නේ එලෙස ය.


පාසල් සමය

තිඹිරිගස්යායේ පදිංචිව සිටි (ඔහුගේ මව තවමත් වාසය කරන්නේ තිඹිරිගස්යායේ පිහිටි ඔවුන්ගේ නිවසේ ය) මහාචාර්ය චරිත පට්ටිආරච්චි, පාසල් අධ්‍යාපනය ලැබුවේ, කොළඹ රාජකීය විද්‍යාලයෙනි.

"මම රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ දිනන්න පුළුවන් ගොඩක් දේවල් දිනුවා. ප්‍රධාන ශිෂ්‍ය නායක, නිවාස නායක, පිහිනුම් නායක, වෝටර් පෝලෝ නායක. මම අවුරුදු 15ක් විතර පිහිනුම් තරගවල නිරත වුණා. මගේ ප්‍රධාන ක්‍රීඩාව ස්විමිං."

ඔහුට සාගර අභ්‍යන්තරයේ ඇති දේවල් පිළිබඳව සොයා බැලීමට කුතුහලයක් ඇති වූයේ ද, පිහිනුම් ක්‍රීඩකයෙකු වූ හෙයිනි.


charith2ඉදිරිපෙළ අසුන්ගෙන සිටින්නන් අතර වමේ සිට 6 වැන්නා
ඡායාරූප මූලාශ්‍රය FACEBOOK / CHARITHA PATTIARACHCHI

 
 
 
'සාගර විද්‍යාඥයෙක් වෙනවට අම්ම කැමති වුණේ නෑ'


සාගර විද්‍යාව වැඩිදුර ඉගෙන ගැනීමට ඔහු තුළ කැමැත්තක් ඇති වී ඇත්තේ, වයස අවුරුදු 13ක් පමණ වෙද්දී ය.

"මගේ තාත්තා භූගර්භ විද්‍යාඥයෙක්. එයා පිඟන් සංස්ථාවෙ සභාපතිවෙලා හිටියා. ඒ කාලෙ මම තාත්තත් එක්ක ෆීල්ඩ් ට්‍රිප්වලට යනවා. ලංකාවෙ එහෙ මෙහෙ යනකොට මම ආස වුණා විද්‍යාවට. එතකොට මම කිව්වා මේක තමයි මම ලොකු වුණා ම ඉගෙන ගන්න ඕනෙ කියලා. එතකොට අම්ම කිව්වා, නෑ නෑ ඔයා ඒවා කරන්න ඕන නෑ කිව්වා. එක ම පවුලෙ එක ම සබ්ජෙක්ට් එක කරන දෙන්නෙක් ඕනෙ නෑ කිව්වා."

"මම අවුරුදු 13ක් වෙනකොට දැනගත්තා සාගර විද්‍යාව කියල විෂයක් තියෙනවා කියලා. ඒ කාලෙ තමයි මම හිතුවෙ මට මේක තමයි ලොකු වුණා ම කරන්න ඕනෙ කියල."

ඔහු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටියේ, 1976 වසරේදී ය.

කොළඹ රාජකීය විද්‍යාලයේ සම්ප්‍රදාය අනුව ශිෂ්‍ය නායක තනතුරු පිරිනමන්නේ උසස් පෙළ විභාගයෙන් පසුව වීම නිසා ඉන්පසු ඔහු ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත්විය.

"හෙඩ් ප්‍රිෆෙක්ට් වෙලා ඉන්න කාලේ බ්‍රහස්පතින්දා දවසක ඉස්කෝලෙට ගිහින් ඉස්කෝලෙන් අයින් වුණා. එදා රෑ ම වේල්ස්වලට ගියා. ඊට පස්සෙ සඳුදා මම විශ්වවිද්‍යාලෙ හිටියා," ඔහු සිය අතීතය සිහිපත් කළේ ය.

1979 වසරේදී වේල්ස් විශ්වවිද්‍යාලයට අනුබද්ධ University College of Swansea ආයතනයෙන් සාගර විද්‍යාව සහ ව්‍යවහාරික ගණිතය සඳහා ප්‍රථම උපාධියක් හිමි කර ගත් ඔහු, 1981 වසරේදී සාගර විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හිමි කර ගත්තේ ය.

ඔහු ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇත්තේ, 1985 වසරේදී ය.

"වේල්ස්වල ඉගෙන ගත්තට පස්සෙ බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ රැකියාවට ආවා කථිකාචාර්යවරයෙක් විදිහට. දැන් මම අවුරුදු 37ක් මෙහෙ සේවය කරනවා."
 



ශ්‍රී ලංකාවට කර ඇති සේවය


"ලංකාවෙ මොකක් ද ලොකු වෙරළ සංවර්ධනයක් වුණේ, ඒ හැම එකට ම මං අතින් දායකත්වයක් දීල තියෙනවා. හැබැයි එකකට දායක වුණේ නෑ. ඒ තමයි, හම්බන්තොට වරායට විතරයි මම වැඩ කරල නැත්තෙ. ඒකෙ ඔක්කොම කළේ, චීනෙන්," මහාචාර්ය චරිත පට්ටිආරච්චි පැවසීය.

ඔහු කුඩාවැල්ල ධීවර වරාය, පානදුර ධීවර වරාය, නොරොච්චෝලෙයි බලාගාරය, පෝර්ට් සිටි යන ව්‍යාපෘති වෙනුවෙන් දායක වී තිබේ.

ඔහු පැවසූ පරිදි, නොරොච්චෝලෙයි බලාගාරයේ පාරිසරික බලපෑම් වාර්තාව සකසා ඇත්තේ, බලාගාරය ඉදිකිරීමෙන් පසුව ය.

ඊට අමතරව, සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය සඳහා ඔහු ඍජු දායකත්වයක් ලබා දී ඇත.

ඔහු මේ වන විට කොළඹ වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ද සම්බන්ධ වී සිටී. එහි සැලසුම ඇතුළු සියල්ල සඳහා ඔහු ඇතුළු කණ්ඩායමක් දායකත්වය සපයයි.
 



'මාළු ඉන්න තැන් ගැන ධීවරයින්ට ෆෝකාස්ට් එකක්'


"2006 මම නාරා එක්ක වැඩ කරලා අපි දැම්මා මාළු ඉන්න තැන් ගැන ෆෝකාස්ට් එකක්. Potential Fishing Zone කියලා. ඒක හරහා නාරා එකෙන් හැම සුමානයකට ම ඒගොල්ලන්ගෙ ෆෝකාස්ට් එකක් දෙනවා බහුදින ධීවර යාත්‍රාවලට කොහෙ ද ටූනා තියෙන්නෙ කියලා. ඒ තැන්වලට ගිහිල්ල ධීවරයින්ට ටූනා අල්ල ගන්න පුළුවන්. අයිස්ලන්තයෙන් මට සල්ලි දුන්නා ඒක හදන්න."

ඔහු මේ වන විට ශ්‍රී ලංකාව සඳහා සාගර සුළං පිළිබඳ අනාවැකි පද්ධතියක් ද නිර්මාණය කර තිබේ.

"දැන් අපි දාල තියෙනවා, Ocean Forecast System කියල අපිට වෙබ් සයිට් එකක් තියෙනව. ඕන එක්කෙනෙකුට ගිහිල්ල බලන්න පුළුවන් windy.com කියලා. ඒක අපි හදල දීල තියෙන්න ලංකාවට. ලංකාවේ නැව් මුහුදුබත් වුණා ම කරන්න ඕනෙ මොනව ද කියල දැනගෙන හිටියෙ නෑ. ඒකට දැන් මම හදල තියෙනවා ඒකෙදි කරන්න ඕන මොනවා ද කියල. හුළං එන්නෙ කොහෙන් ද? කොච්චර වේගෙකින් එනව ද? කොහෙට ද බලපෑම් තියෙන්නෙ ඒ වගේ දේවල් මෙකෙන් දැන ගන්න පුළුවන්. මුහුදෙ යන අයටත් මේක වැදගත්. මුහුද ආශ්‍රිතව සුළං හැමීම, උෂ්ණත්වය ගැන තමයි මෙකෙන් අනාවැකි කියන්නේ."

"ඊට අමතරව, මුහුදු පැළෑටි සහ ඔයිස්ටර් ෆාම් කරන්නෙ කොහොම ද කියල අපි සොයා බලමින් ඉන්නවා."
 
 


(උපුටා ගැනීම බීබීසී සිංහල )


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න