මහින්දගේ වචනයට පිටුපා ඒකාබද්ධයේ අර්බුධයක්

මහින්දගේ වචනයට පිටුපා ඒකාබද්ධයේ අර්බුධයක්

නියෝජ්‍ය කතානායක ධූරයට මන්ත්‍රීවරයෙකු තේරීමේ ඡන්දයේදී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෙත සහය පළ කළයුතුයැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගත් පොදු තීරණය චමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් කඩකිරීම නිසා ඒකාබද්ධ විපක්ෂයේ ඇති වූ බෙදීම මේ වනවිට බරපතළ අර්බුධයක් බවට පත්ව තිබෙන බව වාර්තා වේ.

පසුගිය අඟහරුවාදා (5) පාර්ලිමේන්තුවේදී ඊට අදාළ ඡන්දය විමසන අවස්ථාවේදී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පළමුව සභා ගර්භයෙන් පිටවී ගොස් ඇති අතර චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, කාන්චන විජේසේකර, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණවීර, නිමල් ලංසා, මොහාන් සිල්වා, ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, රෝහිත අබේගුණවර්ධන ආදී මන්ත්‍රීවරු පිරිසක් භෝජනාගාරයේදී ඔහුට එක්වී තිබේ.

රහස් ඡන්ද ප්‍රතිඵල අනුව ඡන්ද 97 ක් ලබා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයා ජයගත් අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියට ලැබුණේ ඡන්ද 54 ක් පමණි.

ඡන්දයට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, සුදර්ශනීට ඡන්දය දී එජාපයේ නොවන නියෝජ්‍ය කතානායකවරයකු පත්කර ගත යුතු බවය.

එහෙත් පොදු තීරණයට පිටුපා ප්‍රසන්න රණතුංග, චමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ගත් ක්‍රියාමාර්ගය නිසා එජාපයට පාර්ලිමේන්තුවේදී තරඟයක් ලබාදීමට තිබූ අවස්ථාව අහිමිවූ අතර ඊට විරෝධය පළ කරමින් එදිනම සවස පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ විපක්ෂ, පක්ෂ නායක රැස්වීම, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල පක්ෂ නායකයන් වර්ජනය කර ඇත. මහින්ද රාජපක්ෂ මහතා දුරකතන ඇමතුම් ලබා දුන්නද ඔවුන් සහභාගි නොවීම නිසා රැස්වීම අවලංගු කර ඇති අතර මෙතෙක් යළි රැස්වන දිනයක් තීරණය වී නොමැති බව දැනගන්නට ඇත.

සභා ගර්භයෙන් පිටව ගිය ඇතැම් මන්ත්‍රීවරුන් මේ වන විට සිය කනගාටුව පළ කර  මෙම තත්වය සමනය කරගැනීමේ උත්සාහයකද නිරතවෙමින් සිටින බව වාර්තා වේ.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න