ජනවාරි මස 1වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර ඇත.
2025 අංක 11 දරන සේවකයින් ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුව මෙම වැටුප් වැඩිකිරීම සිදුකර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්, එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහත්මිය සඳහන් කර ඇත්තේ, ඒ අනුව අවම වැටුප රු 27,000 සිට රු 30,000 දක්වා ඉහළ යන බව ය.
මෙම සංශෝධන පනත නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ දී, අතරමැදියකු හෝ කොන්ත්‍රාත්කරුවකු හරහා යම් කර්මාන්තයක හෝ සේවාවක සේවයේ යොදවා ගන්නා සේවක, සේවිකාවන් සම්බන්ධයෙන් ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද ඇතුළුව සෑම සේවායෝජකයකු ම එකී පනතේ නියමයන් ප්‍රකාරව බැඳී සිටින බව ද කම්කරු කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර ඇත.
එසේම, සංශෝධිත පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව අයවැය සහන දීමනා එකතු කිරීම හැරුණු විට සේවකයකු විසින් 2025.03.31වන දින වන විට ලබමින් සිටි වෙනත් කිසිම දීමනාවක් අවම වේතනය සඳහා හිලවු කිරීමට යොදා නොගත යුතු බව ද අදාළ නිවේදනයේ දැක්වේ.
මෙම වැටුප් වැඩි කිරීම අනුව සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදි සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගැනීමේ වගකීම සේවායෝජකයින් වෙත පැවරෙනු ඇත.
යම් හෙයකින්, නිසි පරිදි ගෙවීම් නොකරන සේවායෝජකයින් වෙතොත් ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි cms.labourdept.gov.lk ඔස්සේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීම හෝ ළඟ ම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව ඉදිරිපත් කළ හැකි ය.

