රාජ්‍ය ආයතනවල අතිරික්ත සේවකයන්ට වැටුප් ගෙවීමේ වගකීම ආයතන ප්‍රධානීන්ට !

රාජ්‍ය ආයතනවල අතිරික්ත සේවකයන්ට වැටුප් ගෙවීමේ වගකීම ආයතන ප්‍රධානීන්ට !

රාජ්‍ය ආයතනයන්හි අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් එහි වගකීම් භාරගත යුතුයැයි රජය තීරණය කර ඇත.

ඒ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද කාර්ය මණ්ඩල ප්‍රමාණය ඉක්මවා කාර්ය මණ්ඩල පවත්වා ගනිමින් වැටුප් සහ වෙතන ගෙවනු ලබන ආයතනවල වැටුප් ගෙවීම්වලට අදාළ ගණකාධිකාරීවරුන්, ගණන්දීමේ නිලධාරීන් සහ ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් එම අනුමත නොවූ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් වගකීමට හා වගවීමට බැඳිය යුතු යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදීමත් සමඟය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ය.

එමෙන්ම  අනුව රාජ්‍ය ආයතන ඇතුළත්  රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සම්පූර්ණෙයන් රජය සතු සමාගම්වල  අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල වැනි ව්‍යවස්ථාපිත ගෙවීම් නිශ්චිත කාලය තුළ ගෙවීමද අදාළ ආයතන ප්‍රධානීන්ගේ වගකීම බවත් ඒ පිළිබඳ තීරණය  අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

මේ වනවිට 7500 ට අධික සේවක පිරිසක් රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය  මණ්ඩලයට අමතරව විවිධ රැකියාවල නිරතව සිටින බව වාර්ථා වී ඇති බවත් රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩල පිළිබඳ 2017 වර්ෂයේ අවසන් කාර්තු වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණ වලට එළඹ ඇති බවද එහි සඳහන්ව ඇත.

වැඩිදුරටත් එම නිවේදනයේ දැක්වෙන ආකාරයට, 

2017 වසර අවසානය වන විට සමස්ත රාජ්‍ය අංශයේ රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන මෙන්ම රාජ්‍ය ව්‍යවසායයන් සම්පූර්ණයෙන්ම රජය සතු ආයතන හා රාජ්‍ය බැංකුවල පුද්ගලයන් 1,375,499 කු සේවය කරන බව ගණනය කර තිබේ. 2017 වසර තුළ රාජ්‍ය සේවා බඳවා ගැනීම් 23,224 ක් සිදුකර ඇත. මේ අතර අදාළ වසර තුළ 5,000 ක් පමණ සේවක පිරිසක් විශ්‍රාම ගොස් ඇති අතර විවිධ විනය හේතූන් මත 246 දෙනෙකු සේවයෙන් පහකර තිබේ.

රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ විධායක මට්ටමේ තනතුරුවල වැඩි පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවත් අනාවරණය විය. තනතුරේ උසස්වීම් ලැබීම සඳහා අවශ්‍යවන සේවා කාලය සම්පූර්ණ කර ඇති නිලධාරීන්ගේ ප්‍රමාණය සීමිත වීම මෙයට ප්‍රධාන හේතුව බව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පැවැසීය.

රාජ්‍ය අංශයේ සංවර්ධන නිලධාරී සේවයේ අනුමත තනතුරු 74,872 ක් තිබෙන අතර දැනට 18,000 ට ආසන්න තනතුරු සංඛ්‍යාවක් පුරප්පාඩුව පවතියි. එහෙත් ඇතැම් ආයතනවල සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරීන්ට නිශ්චිත කාර්යභාරයක් හෝ විෂයානුබද්ධ වැඩ පැවරුමක් සිදුකර නොමැති බව කාර්ය මණ්ඩල සමාලෝචන වලදී නිරීක්ෂණය වූ බව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තවදුරටත් පැවසීය.

ඉංජිනේරු, තාක්ෂණ නිලධාරී හා කාර්මික නිලධාරී වැනි තාක්ෂණික අංශයේ තනතුරු පුරප්පාඩු විශාල ප්‍රමාණයක් රාජ්‍ය අංශයේ පැවතියද එවන් තනතුරු සඳහා පෞද්ගලික අංශයේ වැඩි වැටුප් ගෙවන බැවින් එවැනි තනතුරු සඳහා රාජ්‍ය අංශය වෙත අපේක්ෂකයන් යොමු කරගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න