සෑම පුද්ගලයකුට ම ආගමක් ඇදහීමේ සහ නිරාගමික වීමේ නිදහස තිබෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සෑම පුද්ගලයකුට ම ආගමක් ඇදහීමේ සහ නිරාගමික වීමේ නිදහස තිබෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සෑම පුද්ගලයකුට ම තමන් පිළිගන්නා, විශ්වාස කරන ඕනෑම ආගමක් ඇදැහීමේ, සංස්කෘතියක් පිළිගැනීමේ අයිතියක් ඇති බවත්, නිරාගමික වීමටත් ජනතාවට අයිතියක් ඇති නමුත් එය බලහත්කාරයෙන් සිදු කිරීම නොකළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද බටහිර කුප්පියාවත්ත ප්‍රදේශයේ පාසල් ළමුන් 700 සඳහා පාසල් පොත් බෑග් බෙදා දීම වෙනුවෙන් රුක්ෂාන් පෙරේරා විසින් සංවිධානය කරනු ලැබූ උත්සව අවස්ථාවක් සමග එක්වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

සෑම ආගමික නායකයකුට ම නිසි ගරුත්වයක් දෙන්න

''අද වන විට අප රට ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් සිටිනවා. එක් පැත්තකින් දියුණු වන රටක තිබිය යුතු සමාජ විනය සමාජ ශීලාචාරත්වය ශිෂ්ටසම්පන්න භාවය රටෙන් අතුරුදහන් වෙමින් යනවා. ඡන්ද බලය ලබා ගෙන වගකීම් දරන මැති ඇමතිවරු: ආගමික නායකයන්ට අපහාස කරමින්, අඩන්තේට්ටම් කරමින්, අභියෝග එල්ල කරමින්, වනසතුන් ගේ නම් භාවිත කර අපහාස කරනවා. ආගමික නායකයන්ට පහර දෙන බවට පවසනවා. සෑම ආගමකම සෑම ආගමික නායකයකුට ම නිසි ගරුත්වයක් සමාජයේ ලබා දිය යුතු යි. සිවිල් පුරවැසියන් ලෙස ගරු කරන්න ඉගෙන ගත යුතු යි. සම්බුද්ධ ශාසනය සුරක්ෂා කර පෝෂණය කිරීම අප සැමගේ වගකීමක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එය ඉටු කිරීම පුරවැසියන් ලෙසත් රජයක් ලෙසත් වගකීමක්. ඊට අමතරව සෙසු ආගම් සංස්කෘතීන්ට ද නිසි තැන ලබා දීම සිදුවිය යුතු යි. එය ජාතික ප්‍රතිපත්තියක් නිසා රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශයක් මෙන්ම සෙසු ආගම් සඳහා රාජ්‍ය අමාත්‍යාංශය බිහි කළා. ඒ සියලුම ආගම් ආරක්ෂා කිරීම රටේ වගකීම වුවත් අද රජයේ මැතිඇමතිවරු ස්වාමීන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ වනචාරීන් ලෙස යි. මුහුණු පොත හරහා මහා සංඝරත්නය පියතුමන්ලා ඇතුළු සියලු ම ආගමික නායකයන්ට අපහාස කරමින් යනවා.

සමාජය නිරාගමික විය යුතු ද...?

මේ අපහාස කරන අයගේ විශ්වාසය වන්නේ සමාජය නිරාගමික විය යුතු යන්න යි. සෑම පුද්ගලයකුටම තමන් පිළිගන්නා විශ්වාස කරන ඕනෑම ආගමක් ඇදැහීමේ සංස්කෘතියක් පිළිගැනීමේ අයිතියක් තිබෙනවා. නිරාගමික වීමටත් ජනතාවට අයිතියක් ඇති මුත් එය බලහත්කාරයෙන් සිදු කිරීම නොකළ යුතු යි. මේ සෑම අයිතියකට ම නිදහස ලබා දීම සැමගේ ම වගකීමක්. එබැවින් මහා සංඝරත්නයට එල්ලකරන ප්‍රහාර නවත්වන ලෙස සියලුම ආගමික නායකයන් ඉලක්ක කර ගෙන සිදු කරන නින්දිත මඩ ව්‍යාපාර නවත්වන ලෙස රජයට කියා සිටිනවා. මේවා නවත්වා රටේ ප්‍රශ්න විසදන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

26000කට රැකියා අහිමි වීමේ පෙර නිමිති

අද රටේම ගෑස් හිඟයක් පවතිනවා. මේ ගැන තමා පාර්ලිමේන්තුවේ කතා කරන විට රජයේ වගකිව යුත්තන්ට අනුව නම් හිඟයක් නැති වුවත් ජනතාවට නම් ගෑස් හිඟ යි. රටේ ගෑස් හිඟයක් තිබිය දී ඇස්වලට පෙනි පෙනී තොරතුරු දැන ගෙනත් රජය කටයුතු කිරීම තුළින් පෙන්නුම් කරන්නේ රජයේ උද්දච්චකම නොහැකියාව සහ වැඩක් කරන්න තිබෙන නොහැකියාව යි. මේ වන විට රණසිංහ ප්‍රේමදාස ආරම්භ කළ ඇගලුම් කම්හල් 200 යටතේ ආරම්භ වූ ඇගලුම් කර්මාන්තශාලා පවා අද වැසී යාමේ තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. මේ වන විට MAS holding ආයතනයේ 96000ක් සේවය කරනවා; ඉන් 26000කට රැකියා අහිමි වෙන්න යනවා. රැකියා කරන ප්‍රමාණය 70000 අඩු කරන්න ඔවුන් කටයුතු කරනවා.

ආණ්ඩුවට වෙළෙඳ ගිවිසුම් ගැන කිසිදු දැනුවත්භාවයක් නැහැ

මේ ඇගලුම් කර්මාන්තශාලා නිර්මාණය කිරීම නිසා ලෝකප්‍රකට ඇගලුම් සන්නාම මැසීම අප රටේ පවා සිදු වුවත් අද මේ කර්මාන්ත ශාලා වැසී යාමේ තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. මේවාට රජයට උත්තර නැහැ. මෙයට හේතුව වත්මන් රජයට ඇමෙරිකානු බදු අඩු කර ගැනීමට නොහැකි විම යි. මේ සාකච්ඡා රජයට හරියට ක්‍රියාත්මක කරන්න නොහැකි යි. අද බලයේ සිටින්නේ කර්මාන්තශාලා විවෘත කළ අය නොව කර්මාන්තශාලා වසා දැමූ  ගිනි තැබූ සහ සේවකයන් මහපාරට බැස්සවූ අය යි. මොවුන්ට වෙළෙඳ ගිවිසුම් ගැන කිසිදු දැනුවත්භාවයක් නැහැ. මෙවැනි ගැටලු මැද රජය කරන්නේ ජාති ආගම් අතර ගැටුම් ඇති කර බෙදීම් ඇති කර බෙදීම තුළින් රජ වීමේ න්‍යාය යි. දැන්වත් මේවා නතර කර ජනතාවගේ අවශ්‍යතාවලට උත්තර සපයන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.'' 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න