ගෝඨාභයගේ "ජම්පර්" කතාව : භයානක හෙටක් ගැනයි !

ගෝඨාභයගේ "ජම්පර්" කතාව : භයානක හෙටක් ගැනයි !

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව උදම් අනන ආණ්ඩුවේ සිටින ඇතැමුන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයක් බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත මෙන්ම භයානක බව දේශපාලන විචාරකයන් සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉහත ප්‍රකාශය සිදුකරනු ලැබුවේ  ‘එළිය’ සංවිධානය ගලේවල නගරයේ ඊයේ  (01) පැවැත්වූ මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද පැවසිය. 

''අද ඇමැතිවරුන් කතා කරන්නේ ද්වේශයෙන්. මේ අය තහවුරු කරන්න යන්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයයි. මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. වෛරයෙන්, ද්වේශයෙන් කතා කරන්නේ. යම්කිසි වැරද්දකදී ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. 

අද වැරදිවලදී ක්‍රියා කරන්න යන්නේ දේශපාලනඥයන්, හා රාජ්‍ය නොවන සංවිධානවල කණ්ඩායම්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් යන්නේ මේ රජයයි.
 ඇතැම් අයට ඒ අයගේම ඉතිහාසය අමතක වෙලා. ඇතැමුන් මහින්ද රාජපක්‍ෂ මහතාට නම් පටබඳිනවා. සුදු වෑන් නිර්මාතෘ කවුද? බටලන්දේ නිර්මාතෘ කවුද?

එවැනි නිර්මාතෘවරුන් තමයි අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ. 

මගේ පෞද්ගලික දානයකදී නායක හිමිපාණන් වහන්සේ කළ අනුශාසනාවක් අල්ලගෙන මොන තරම් දේවල් කිව්වද? මෙවැනි ආරාජික තත්ත්වයකට අද රට පත් වෙලා.''

ආත්ම අනුකම්පාව ගැනීමේ වෑයමක් !

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගේ මෙම අදහස් දැක්වීම සම්බන්ධව ප්‍රතිචාර දක්වන දේශපාලන විචාරක මතය වී ඇත්තේ ඔහු ඉතා සූක්ෂම ලෙස රටේ ස්වාධීන අධිකරණ කටයුතු ආණ්ඩුවේ කටයුතු බවට පරිවර්තනය කරන බවය. ඒ හරහා ජනතාව වෙතින් ආත්ම අනුකම්පාවක් ලබා ගැනීම ඔහුගේ අපේක්ෂාව වුවත් එය දේශපාලන වශයෙන් බොළඳ ක්‍රියාවක් බවට ඔහු හරහාම පෙරළී ඇති බවද විචාරකයින් පෙන්වා දෙයි.

ඔවුන් සඳහන් කරන ආකාරයට මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලත් එම පවුල් පාලනය යටතේ විවිධ ඝාතන, දුෂණ සහ අක්‍රමිකතා සිදුකල පාර්ශව වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඇත්තය. එහෙත් ඒ කිසිඳු අධිකරණ ක්‍රියාමාර්ගයක් හමුවේ ආණ්ඩු පාර්ශවයේ සෘජු මැදිහත්වීමක් දක්නට නොමැත. නැතිනම් ආණ්ඩුවට අවශ්‍ය දේ අධිකරණය සිදුකරන බවක් කොහෙත්ම දක්නට නැත. ඒ වෙනුවට සිදුවෙමින් පවතින්නේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඇතුළුව නිල ආයතන විසින් විමර්ශනයන් සිදුකිරීම සහ ඊට අදාළ නඩු අධිකරණ හමුවේ විභාග වීමය.

මේ හිනා වෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට !

ඒ අනුව රටේ සාමාන්‍ය ක්‍රියාවලියට පරිභාහිර අන්දමට කිසිඳු නඩු ඇසීමක්,අධිකරණ කටයුතු වලට බාධා කිරීමක්, අත්අඩංගුවට ගැනීමක්, පැහැරගැනීමක් තබා තර්ජනය කිරීමක් හෝ වාර්තා වන්නේ නැත. ඒ හමුවේ ගෝඨාභය ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදය කියා උපහාස කරනුයේ මෙන්න මේ කියන විධිමත් අධිකරණ ක්‍රියාවලියටය.

ඔහු එසේ චෝදනා කර සිටියත් වින්දිතයන්ට යුක්තිය ඉටුකරන්නේ කෙසේද යන්න ගැනද කිසිත් නොකියයි. එයින් ගම්‍ය වන්නේ ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, කීත් නොයාර් පැහැරගැනීම, කප්පම් ගැනීමට පැහැරගත් තරුණයන් 11 අතුරුදහන් කිරීම, ඇතුළු ඝාතන සහ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම් වලට අදාළ වින්දිත පාර්ශවයන්ට යුක්තිය ඉටුවිය යුතු බව ගෝඨාභය අදටත් පිළිනොගන්නා බවය. 

එසේම මුල්‍ය වංචා, රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධව සිදුකරන විමර්ශන අනවශ්‍ය බව ඔහුගේ අදහස විය යුතුව ඇත.

ජම්පර් වෙනුවට සුදුවෑන් ?
මෙහි ඇති භයානක කරුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මෙන්ම මුලික මිනිස් අයිතීන් සම්බන්ධව අබමල් රේණුවක තරම් හැඟීමක් නොමැතිව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස ඔහු ගෙන ගිය නොහික්මුණු පාලනය ඔහු අනුදත් එකම සහ අදටත් විශ්වාස කරන පාලන ක්‍රමය බවය. එනම් සුදුවෑන් යොදවා අතුරුදහන් කිරීම, පැහැර ගැනීම, ඝාතනය කරවීම, සිවිල් උද්ඝෝෂණ සඳහා අවි සහිත හමුදා එවා වෙඩි තැබවීම, වැනි ක්‍රමයක්ය. 

ඒ බලය මොකක්ද? අලුත් බලය මොකටද ?

ලංකාව වැනි රටක අධිආරක්ෂක කලාපයක් තුල ඝාතනය වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සම්බන්ධව විමසු කල එදා ගෝඨාභය සඳහන් කර සිටියේ "හූස් ලසන්ත, ඇයි එයා ගැන අහන්නේ, තවත් මරෙනවනේ, ඒ ගැනත් අහන්නකෝ" වැනි නොහික්මුණු කතාවක්ය. ඒ අයියා ජනාධිපතිවීමේ බලය ඇති නිසා මිස වෙනත් කිසිඳු අමාත්‍යංශ ලේකම්වරයෙකුට ඔය වැනි කතාවක් අසන්න හැකියාවක් නැත. එවැනි පසුබිමක ගෝඨාභය දැන් සූදානම් වන්නේ අයියාගේ පිහිටෙන් අයියාට අහිමිවූ බලය නැවත ලබා ගන්නය. එවැනි උත්සාහයක සිට වත්මන් අධිකරණ පද්ධතියේ ස්වාධීන හැසිරීම හාස්‍යට ලක්කිරීම පෙන්නුම් කරන්නේ මේ නීතියේ සහ අධිකරණයේ ස්වාධීන පැවැත්ම ඔහුගේ විශ්වාසය නොවන බවය. 

එය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව පවතින බරපතල අවධානමක් වන අතර යම් ආකාරයකට ඔහු ඇතුළු රෙජීමයක් බලය ලැබුවහොත් අධිකරණයේ සහ නීතියේ ස්වාධීනත්වයට යන කල දසාව සම්බන්ධව පූර්ව අවබෝධයකටද සෑහෙන බවත් විචාරකයින් සඳහන් කරයි. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ගෝඨාභයගේ යෝජනාව  වැරදි කළ පුද්ගලයන්ට ජම්පර් අන්දන ස්වාධීන අධිකරණ ක්‍රියාවලිය නොව ජම්පරය වෙනුවට රාජපක්ෂ  පවුලේ උදහසට හේතුවන ඕනෑම අයෙක් දේශද්‍රෝහී ලේබලය යටතේ මහ දවාලේ ඝාතනයවීම හෝ අතුරුදහන්වීම පිළිගැනීම ඉදිරියේදී ජනතාවගේ අපේක්ෂාව බවට පත්කර ගැනීම බවද  දේශපාලන විචාරකයින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න