Language Switcher

V2025

ලංකා මාධ්‍යවේදීන්ට තර්ජන එපා : ප්‍රශ්නයක් තියනවා නම් අපට කියන්න - ටයිම්ස් පුවත්පත මහින්දට කියයි !

ලංකාවේ මාධ්‍යවේදීන් විවේචනය නොකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තම වාර්තාකරණය පිළිබඳව ගැටලුවක් පවතින්නේ නම් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කතුවරයන් අමතන්නැයි "ද නිව්යෝක් ටයිම්ස්" පුවත්පත අවධාරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම පුවත්පත මේ බව අවධාරණය කර ඇති අතර ඒ චීන ණය සහ හම්බන්තොට වරාය ඉදිකළ චයිනා හාබර් සමාගම පසුගිය ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ඩොලර් මිලියන 7.6ක් ලබාදීම  ඇතුළු කරුණු සම්බන්ධයෙන් පළවූ  ගවේෂණාත්මක ලිපිය සම්බන්ධව රාජපක්ෂ පාර්ශවයේ ප්‍රතිචාරයට දක්වන ප්‍රතිචාරයක් වශයෙන්ය. ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජාත්‍යන්තර කර්තෘ මයිකල් ස්ලැක්මෑන් එම නිවේදනය නිකුත් කර ඇති අතර  එහිදී  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  සමඟ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඇති බවටද  චෝදනා කර ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන්ව ඇත.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ජූනි 26 වැනිදා ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ නිරවද්‍ය ගවේෂණාත්මක ලිපියට දායකත්වය දැක්වූ මාධ්‍යවේදීන් දෙදෙනකු ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කර තිබේ.

මේ ආකාරයෙන් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත අනුමත කළ නොහැක. මෙවැනි ක්‍රියා විවේචනය සහ මාධ්‍ය නිදහස සීමා කිරීමටත් අවසාන වශයෙන් මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ ලැදියාව අහිමි කිරීමටත් හේතු වනු ඇත.

ශ්‍රී ලංකා බලධාරීන් අපේ පුවත්පතට මෙන්ම වෙනත් ඕනෑම පුවත්පතකට සේවය කරන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

මහින්ද රාජපක්ෂ මහතාට ‘ටයිම්ස්’ ලිපිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ඒ සම්බන්ධයෙන් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන්ට අමතන්න”.

මහින්ද නඩු දාන්න යන්නේ ලංකාවේ මාධ්‍යට !

මේ අතර මහින්ද පාර්ශවය මේ වන විට සඳහන් කර ඇත්තේ නිව්යෝර්ක් ටයිම්ස්  අනාවරණය  වාර්තා කිරීම සම්බන්ධව දේශීය මාධ්‍ය ආයතන වලට එරෙහිව උසාවි යාමට කටයුතු කරන  බවය.

කයිවාරුවේ හැටියටම වැඩේ කරනවා නම් දැන් රාජපක්ෂලා කල යුතුව ඇත්තේ ලංකාවේ සියලු මාධ්‍ය ආයතන වලට එරෙහිව උසාවි යාමය. එහෙත් එය කිසිදාක සිදුවන්නක් නොවේය. රාජපක්ෂලා එතරම් බොළඳ නැත. 

එසේනම් රාජපක්ෂලාගේ මේ ප්‍රකාශයේ සැබෑ තේරුම කුමක්ද? හරියටම කියනවා නම් ලංකාවේ සියලු මාධ්‍ය වෙත නඩු දාන බව කියමින් රාජපක්ෂලා මේ එවා ඇත්තේ මෙරට සියලු මාධ්‍ය වෙත පොදු තර්ජනයක්ය. නැතිනම් නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය තේරෙන භාෂාවෙන් ලංකාවේ ජනතාවට ගෙනයාම රාජපක්ෂ පවුලේ උදහසට හේතුවී ඇති බව නොකියා පැවසීමක්ය.

ඇත්තටම රාජපක්ෂලාට  බලය තිබුණා නම්  පවුලේ උදහස සමනය කරගන්න නඩු යන කතා අදාලම නැත. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ සදාකාලික අතුරුදහන් කරවීම, කීත් නොයාර් පැහැර ගැනීම, පොද්දල ජයන්ත සදාකාලික අබ්බගාත කිරීම යන මාධ්‍යවේදීන්ගේ ජීවන ඉරණම ඊට සාක්ෂි දරන්නේය.   සිරස සහ සියත මාධ්‍ය ආයතන වෙත එල්ලවූ ප්‍රහාරත්, ලංකා සහ ලීඩර්  වැනි පත්තර කාර්යාල සීල් තැබූ ඉතිහාසයත් ඊට ඇති වැඩිදුර සාක්ෂිය.

ඒ අනුව රාජපක්ෂලා මේ සිදුකර ඇත්තේ බලය නැති කල ඔවුන්ට කල හැකි උපරිම තර්ජනය මිස අනෙකක් නොවේය. එසේම  තමන් වටා සිටින විශ්‍රාමික හමුදා ජුන්ටාවේ නිලධාරීන් යොදවා හඳුනාගත්  දේශද්‍රෝහීන්ට අනාගතයේ තම ආණ්ඩුවක් යටතේ එල්ලා මරණ බවට ප්‍රකාශ කරවන අතර සිදුකරන මේ මාධ්‍ය තර්ජනය කියා පාන්නේ, විපක්ෂයේ සිටියත් රාජපක්ෂලා අදටත් තම නම වෙනුවට බීප් නාදය අපේක්ෂා කරන බවය.

එසේ නොවන්නට රාජපක්ෂලාට ලංකාවේ මාධ්‍ය වෙත මෙවැනි තර්ජනයක් එවන්නට කිසිම හේතුවක් නැත. මන්ද නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව සකස් කළ මාධ්‍යවෙදිනිය අදටත් කියා සිටින්නේ තම අනාවරණය නිවැරදි බවය. අනාවරණය  දෝෂ සහිත බවට රාජපක්ෂ පාර්ශවය දක්වා ඇති සෑම ප්‍රතිචාරයකටම සිය නිල ට්වීටර් ගිණුම හරහා පිළිතුරු දෙමින් ඇය අභියෝග කර සිටින්නේ තමන් වැරදි නම් ඒ බව පෙන්වීමට අවස්තාව ලබාදීමට නිව්යෝර්ක් ටයිම්ස් සුදානම් බවය. 

ඉහත නිවේදනය හරහාද ඔවුන් යලිත් ඒ බව තහවුරු කර ඇත.

එසේනම් චෝදනා ප්‍රතික්ෂේප කිරීමට නම් රාජපක්ෂලා කල යුතුව ඇත්තේ නිව්යෝර්ක් ටයිම්ස් වෙත මුහුණදීමය.  ඒ හැර ලංකාවේ මාධ්‍ය වෙත නඩු දානවා කියන්නේ විපක්ෂයේ සිටියත් අපේ මාධ්‍ය නිහඬ කර රාජපක්ෂලා පැණි කන්න සූදානම් වන බව මිස වෙන කුමක්ද?

36638783 10156188732275485 5030700403600130048 n