ඇලෝ - කසුන්ගේ ඇප : ජූලි 18 ට කල්යයි !

ඇලෝ - කසුන්ගේ ඇප : ජූලි 18 ට කල්යයි !

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව  රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන්ව ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම  පිළිබඳ වැඩිදුර සලකා බැලීම මේ මස 18 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

අදාළ පෙත්සම  අද (04) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ යළි සලකා බැලුනු අවස්ථාවේ මෙම නියමය නිකුත්කර ඇත.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මෙම පෙත්සමට අදාලව සිදුකල  කරුණු දැක්වීමද අද  අවසන් කෙරුනු අතර  ලබන 18 වනදා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා විසින් කරුණු දැක්වීමට නියමිතව ඇත.

අදාළ පෙත්සම ගොනුකරමින් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ  මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමන්ව ඇපමත මුදා හැරීම පොදු දේපල පනත යටතේ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය.

එහෙත් මෙම පරීක්ෂණයට අදාල රහස් පොලිසිය විසින් තමන්ට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාව මඟින් පොදු දේපල පනත යටතේ කිසිදු වරදක් අනාවරණය නොවන බව පෙත්සම්කරුවන් එහිදී පෙන්වාදී ඇත.

එහෙයින්  තමන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් දී ඇති නියෝගය නීතියට පටහැනි බවට තීන්දුවක් කොට තමන්ට ඇප මත මුදා හරින මෙන් නියෝගයක් නිකුත් කරන මෙන් ද අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න