Language Switcher

V2025

ඇවන්ගාඩ් නඩු විභාගය තහනම් :  අභියාචනාධිකරණ නියෝගයක් ! 

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින ඇවන්ගාඩ් නඩු විභාගය අත්හිටුවන මෙන් දන්වා අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

එම නඩු විභාගයට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව අභියාචනාධිකරණය හමුවේ පවතින මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් මෙම තහනම් නියෝගය බල පවත්වන බව විනිසුරුවරු සඳහන් කර තිබේ.

අදාල පෙත්සම අද(04) කැඳවූ අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ  මෙම නඩුව කර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බවත් ඒ  හේතුවෙන් පෙත්සම විභාග කිරීමට අවසර ලබාදී මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු විභාගය තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසය.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති වුවත් තහනම් නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවය.

මෙහිදී  ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කර ඇති අතර  නඩුවට අදාළ විරෝධතා තිබේනම් අගෝස්තු මස 26 වනදා ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමටද දන්වා ඇත.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ  අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ, පසුගිය රජය සමයේ ගාලු වරායේ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවයි.

එම නඩුව ගොනුකර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බව සඳහන් කරන ගෝඨාභය රාජපක්ෂ  එම නඩුව පවරා ඇති ආකාරය නීති විරෝධී බවට මූලික විරෝධතාවක් මතු කළත් එය ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බව ද කියා සිටියේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත තමා ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එය ද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටියේය.

මේ හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයේ තීන්දු නීති විරෝධී බවට ප්‍රකාශ කොට ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඊට අමතරව මෙම පෙත්සම් විභාගය අවසන් වන තරු ඇවන්ට්ගාඩ් නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කිරීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.