දවස් 500 යි මරණ හතයි: ආණ්ඩුවට දෙමල අම්මාවරුන්ගේ විරෝධය (වීඩියෝ)

 දවස් 500 යි මරණ හතයි: ආණ්ඩුවට දෙමල අම්මාවරුන්ගේ විරෝධය (වීඩියෝ)

අරගලයේ යෙදී සිටි හත් දෙනකු මරුමුවට පත්වී සිටියදීත් නම අවුරුද්දකට ඉහතදී අතුරුදහන් කරනු ලැබූ තම දූ පුතුන්ගේ ඉරණම හෙළි නොකිරීම ගැන ශ්‍රී ලංකාවේ රජයටත් ජාත්‍යන්තර බලවතුන්ටත් දෙමළ මව්වරුන් ප්‍රමුඛ ඥාතීන්ගේ බලවත් කෝපය පල විය.

යුද සමයේ හමුදාවට බාර දුන්නාවුද, ඉන් අනතුරුව පැහැරගෙන යන ලද්දාවූද දරුවන් සොයා දෙන ලෙස බලකරමින් දියත් කර තිබෙන අඛණ්ඩ විරෝධතාවට දින 500 ක් පිරුනු සති අන්තයේ කිලිනොච්චියේ කන්දසාමි කෝවිල අබියසට රැස්වූ මාපිය, නෑසිය හිත මිතුරන් දිගටම හඬ නැගුවේ “කොහේද, කොහේද අපේ නෑදෑයන් කොහේද,” යනුවෙනි.

ආණ්ඩුවෙන් සහ ජාත්‍යන්තරයෙන් පිළිතුරු ඉල්ලා සිටි විරෝධතාකාරියන් ආණ්ඩුවට බලකර සිටින්නේ අතුරුදහන් සිය නෑසියන් සම්බන්ධ ලැයිස්තු ප්‍රසිද්ධියට පත් කරන ලෙසය.

යුද්ධයේ අවසාන දින සිට මේ දක්වා භාරවූවන්, රහසිගත රැඳවුම් කඳවුරු සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන සිරකොටගෙන ඉන්නා අය පිළිබඳ ලැයිස්තු ඥාතීහු ඉල්ලා සිටිති.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව දෙසියයකට මදක් වැඩි බව ආණ්ඩුව ප්‍රකාශ කළත් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනිමේ ජාතික ව්‍යාපාරය විශ්වාස කරන පරිදි සැබෑ සංඛ්‍යාව ඊට බොහෝ සෙයින් වැඩිය.

වන්දි එපා ! ඥාතීන් සොයා දෙන්න !!

ජනාධිපති සහ අගමැති දෙපළම පවසන පරිදි වෙනත් කිසිවකු ආණ්ඩුවේ අත් අඩංගුවේ නැත. මේ ආණ්ඩුවේ පාලනය යටතේ රහසිගත වධ කඳවුරුද නැත. ඒ නිසා රජයේ අපේක්ෂාව අතුරුදහන් වුවන්ගේ පවුල්වලට වන්දි ලබා දීමයි.

වන්දි ප්‍රතික්ෂේප කරමින්, ඥාතීන් සොයා දෙන ලෙසම ඉල්ලා සිටින  කිලිනොච්චියේ 500 වැනි දින උද්ඝෝෂණයට එක්ව සිටි මව්වරුන් පවසන්නේ තමන්ගේ ඡන්දයෙන් පත්වූ පාලකයන් පසුගිය වසර තුනහමාර තිස්සේම සත්‍යය හෙළි කර ගැනීමට වීරිය කර නැති බවයි.

“මුකුත් දන්නේ නෑ කියලා ජනාධිපතිට කියන්න බෑ,” යි එක් මාතාවක් පැවසුවාය.

“ගෝඨාභය ඉන්නවා, සරත් ෆොන්සේකා ඉන්නවා, 58 වැනි සේනාංකයේ ලොක්කා ඉන්නවා. ඇයි අපේ ප්‍රශ්නේ ගැන ඒගොල්ලෝ ගෙන්නලා

අහන්න බැරි?”

දෙමාපියන් තම දරුවන් ද, භාර්යාවන් තම සැමියන්ද යුද්ධාවසානයේ දී භාරදී තිබුනේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ අණ යටතේ පැවති 58 වැනි සේනාංකයටය.

යුද හමුදාවට භාර වූවන් සොයා ගැනීම ප්‍රමුඛතාවයේ ලා සැලකිය යුතු කරුණක් බව අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලයේ (OMP) ප්‍රධානියා විසින්ද පිළිගෙන තිබුනි.

අවුරුදු නමයකට වැඩි කාලයක් තිස්සේ ආගිය අතක් නොමැති තම දරුවන් තවමත් ජීවතුන් අතර ඉන්නා බව දැඩි සේ විශ්වාස කරන අරගලයේ නියුතු මාතාවක් ඔවුන් සොයා දීමට ආණ්ඩුවේ ප්‍රධානීන් වෙහෙස නොගෙන සුවෙන් කල් ගත කරන බව ලෙහි අත් ගසමින් කියා සිටියේ මහත් කම්පාවෙනි.

“සුබ දවස් වල, අවුරුදු දවස් වල ඒ ගොල්ලෝ දරු මල්ලෝ එක්ක කිරිබත් උයන්න මුට්ටි පුරවද්දී අපි මේ කූඩාරමේ දුක් විඳ විඳ කඳුළු බොනවා.”
16,000 ක් පමණ දෙනා අතුරුදහන් !

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් ගණන් බලා ඇති පරිදි 16,000 ක් පමණ දෙනා අතුරුදහන් වී ඇතැයි OMP සභාපති සාලිය පීරිස් පවසයි.
ශ්‍රී ලංකාවේ රජයේ ආරක්ෂක බලධාරීන්ට භාර දීමෙන් පසු ආගිය අතක් නැති දරුවන් 30 කට ආසන්න සංඛ්‍යාවක්ද ඇතුළු  300 කට අධික පිරිසක නාම ලේඛනයක් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) අතුරුදහන් වුවන්ගේ ඥාතීන් සමග එක්ව මැයි මාසයේ යාපනයේදී එළි දක්වන ලදී.

ඔවුන්ගේ ඉරණම සොයා ගැනීම පිණිස OMP කාර්යාලයට වැඩිදුර විස්තර ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කර තිබේ.

(radiogagana)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න