Language Switcher

V2025

විජයකලාට කළදේ ප්‍රජාතන්ත්‍ර  විරෝධී !

විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය  එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පදනම් කරගෙන ඇයව මන්ත්‍රීධූරයෙන් හෝ අමාත්‍යධූරයෙන් නෙරපීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බව උතුරු පළාත් වනිතා කටයුතු ඇමතිනී ආනන්දි ශෂිදරන් සඳහන් කරයි.

මාධ්‍යවෙත අදහස් දක්වමින් පළාත් අමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇති අතර කොටි සංවිධානය සම්බන්ධයෙන් ඇය විසින් යාපනයේදී සිදුකළ ප්‍රකාශය ප්‍රායෝගිකව සිදුකරන ලද්දක් නොවන බවත් පවතින ආරක්ෂක තත්වය පිළිබඳ උදාහරණයක් වශයෙන් පමණක් කොටි සංවිධානය යොදාගෙන ඇති බවද ඇය පෙන්වාදී ඇත.

දේශපාලනයට කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ විය යුතුයි කියල කියන පාලකයින් දේශපාලනයට පැමිණි කාන්තාවන්ගේ ගමන විනාශ කරන්න උත්සහා කරන බවත් මෙම සිදුවීම ඊට හොදම නිදසුනක් බවද පළාත් අමාත්‍යවරිය සඳහන් කර ඇති අතර   විජයකලා මහේෂ්වරන්ගේ කතාව මුල්කරගෙන දේශපාලන පක්ෂ හා නියෝජිතයින් කටයුතු කරන ආකාරය කණගාටුදායක බවද පවසා ඇත.

ජනසංහාරයක් සිදුවීම නිසා  මහින්ද රාජපක්ෂට විරුද්ධව දෙමළ ජනතාව සිය ඡන්දය භාවිතා කල බවත් ඒ ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි වත්මන් රජය යුද්ධයෙන් අගතියට පත්වුන ජනතාව වෙනුවෙන් පෙරොන්දු රැසක් ලබාදුන් නමුත් මේ වනවිට මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න බැරි තත්වයක් උතුරේ නිර්මාණය වී ඇති බවද ඇය සඳහන් කර ඇත.

වැන්දඹු කාන්තාවන්,දෙමාපියන් අහිමි දරුවන්,ලිංගික අපයෝජන හා හිංසනයන්ට ලක්වූවන්,ඝාතනයට ලක්වූ දරුවන් වශයෙන් ලැයිස්තු පිරී යමින් ඇති බවත් විජයකලා මහේෂ්වරන් ඇමතිවරිය කතා කලේ ඒ ගැන බවත් පළාත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

විජයකලා මේ සියල්ල අධීක්ෂණය කර අදාළ ප්‍රකාශය සිදුකල බවත් අමාත්‍යධුරය පවා ලබා ගත්තේ  උතුරේ පීඩාවට පත්වන දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කුමක් හෝ කළ යුතුයි කියන හැගීමෙන් බවද පළාත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.