Language Switcher

V2025

චීන රජයෙන් මහින්දට චරිත සහතික නෑ !

හම්බන්තොට වරාය ඉදිකිරීමට මැදිහත් වීම සම්බන්ධයෙන් පලවූ මාධ්‍ය වාර්තාව කිසියම් යටි අරමුණක් ඇතිව පලකරන ලද්දක් බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇතත් චයිනා හාබර් සමාගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 7.6ක් ලබාදුන් චෝදනාව ප්‍රතික්ෂේප කර නොමැති බව දේශපාලන විචාරකයන් සඳහන් කරයි.

චීන රජයේ ප්‍රකාශය 

ඒ  නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදුකළ අනාවරණය සම්බන්ධව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කැන්ග් මහතා ඊයේ(04) බීජීං නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධව අදහස් දක්වමින්ය. 

බීජිං නුවරදී පැවති මාධ්‍ය හමුවක් අතරතුර චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කැන්ග් මහතා සඳහන් කර සිටියේ මුළුමන්ම කරුණු විකෘති කරමින් අමෙරිකානු මාධ්‍යවල පළකර ඇති මෙම වාර්තාව වගකීම් විරහිත හෝ කිසියම් යටි අරමුණක් ඇත්තෙක් විසින් සිදුකළ නියෝගයකට අනුව පළකර ඇති බවත් එම වාර්තාව පළකිරීම හා සම්බන්ධ මාධ්‍ය ආයතනය සාවද්‍ය ප්‍රවෘත්ති පිළිකිරීම සම්බන්ධයෙන් එතරම් උනන්දුවක්වක් නොදක්වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවය.

එසේම හම්බන්තොට වරාය ඉදිකිරීම සිදුවූයේ ශ්‍රි ලංකාවේ අනුක්‍රමික රජයන් සහ ශ්‍රි ලාංකික ජනතාවගේ අභිලාශයට අනුව බවත්  සදෙපාර්ශවයටම සමාන වාසි හිමිවන පරිදි ව්‍යාපාරික නීතී පිළිපදිමින් හම්බන්තොට වරාය ඉදිකිරීමට ආයෝජනය කිරීම සඳහා චීන රජය චීන සමාගම් දිරිමත් කල බවද ඔහු සඳහන් කර ඇත.

මහින්දගේ ඩොලර් ගැනිල්ල සහ චීන ප්‍රකාශය අතර සම්බන්ධය ඈතයි !

මෙම ප්‍රකාශය සම්බන්ධව දේශපාලන විචාරක අදහස වී ඇත්තේ චීනය හම්බන්තොට වරාය හමුදා කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂා කළ බව සහ චීනයේ “බෙල්ට් ඇන්ඩ් රෝඩ් සැළැස්ම “ අනෙක් රටවල් ණය උගුලක සිරකරන බවට දැක්වුණු කොටස කෙරෙහි පමණක් චීන රජය උනන්දුවී ඇති බවය.

එසේම ඔවුන්ට වැදගත් වන්නේද  සිය විදෙස් ප්‍රතිපත්තියට හානිකරන අන්දමට පළවී ඇති එම කොටස පමණක් බවත් ඒ හැර එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ චීන සමගම වෙතින් ඩොලර් මිලියන 7.6ක කොමිස් මුදලකට සමාන මුදලක් ලැබීම චීන රජයට ප්‍රශ්නයක් නොවන බවද ඔවුන් පෙන්වා දෙයි.

දේශපාලන විචාරකයින් වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට චීන සමාගම වෙතින් කොමිස් මුදලක් හෝ ඊට සමාන පරිත්‍යාගයක් ලබාදීම ගැන වන නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය ගැන රාජපක්ෂ පාර්ශවය ඉලක්ක කර ගැසූ මඩක් ලෙස එම පාර්ශවය විසින්ම හඳුන්වාදී ඇතත් එය නිවැරදි නොවන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයාගේ ප්‍රකාශයේ ස්වභාවය විසින්ද තහවුරු කරයි.

මහින්ද ගැන චරිත සහතික ලියන්න චීනය ඉදිරිපත්ව නැත.

ඔවුන් කිසිවිටෙකත් ඒ ගැන වචනයක් හෝ කතා නොකරන්නේ අදාළ අනාවරණයේ ප්‍රස්තුතය එය නොවන නිසාය. චීනයට වැදගත් වන්නේ සිය බල දේශපාලන - ආර්ථික උපාය මාර්ගයට සිදුවන හානිය මිස අනෙකක් නොවේය. සැබවින්ම මහින්ද රාජපක්ෂ පාර්ශවය එය තමන් ඉලක්ක කළ දෙයක් ලෙස සිතා සිටින්නේ දූපත් මානසිකත්වය නිසාය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මහින්ද නිදර්ශනයට ගෙන තිබෙන්නේ චීන ණය රටරටවල චීනය සම්බන්ධිත ව්‍යාපෘති ලෙස ඉදිරියට ගැනීමේදී ඒ තුළ තිබෙන බල සම්බන්ධතා නඩත්තු කර ඇති ආකාරය දැක්වීමටය. 
මහින්ද නිව්යෝර්ක් ටයිම්ස් මඟ හරින්නේ ඇයි ?

ඒ හැර මහින්ද සමඟ වෙනත් ආරෝවක් ඔවුන්ට ඇතැයි සිතන්නට ඉඩක් නැත. මේ හමුවේ රාජපක්ෂ පාර්ශවය සිදුකල යුතුව ඇත්තේ, නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය සම්බන්ධව තමන් ඉලක්කවී ඇති චෝදනා පදනම් විරහිත නම් ඒ ගැන කරුණු දැක්වීමය. ඒ කරුණු හරහා චෝදනා නිවැරදි නොවන බව ඔප්පු කිරීමය. නමුත් සිදුව නොමැත්තේද එයයි.

දේශපාලන විචාරකයන් සඳහන් කරන ලෙසට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත දිගින් දිගටම තම අනාවරණය ගැන පිළිතුරු දීමට මහින්දට අවස්ථාව ඇති බව සඳහන් කරයි. එසේම තම කරුණුවල සත්‍යතාව, සහ අනාවරණයේ තිබෙන නිරවද්‍යතාව වෙනුවෙන්   ඔවුන් දිගින් දිගටම පෙනී සිටියි.

ඒ පසුබිමේ රාජපක්ෂ පාර්ශවය නිව්යෝර්ක් ටයිම්ස් වෙත අභිමුව නොවීම ගැටළු සහගත බවත් ඒ හරහා අදාළ චෝදනා ඔප්පු වනු ඇති බවට වන භය හේතුවෙන් රාජපක්ෂලා මේ අවස්ථාව සුක්ෂමව මඟ හරින බවත් පෙනෙන්නට ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.